milinda-prashna

2017/09/06 – ලංකාදීප

පොලිතීන් භාවිතය පරිසර විනාශයට එක ප‍්‍රබල හේතුවක් වී තිබේ. දිරාපත් නොවන පොලිතීන් හා ආශි‍්‍රත නිෂ්පාදන තහනම් කරන්නට රජය තීරණය කළේය. නීතිය බලපවත්වන අතර සහන කාලයක් ද ප‍්‍රකාශයට පත් කර ඇත. සහන කාලය තුළ තවදුරටත් පරිහරණය නොව එයින් ඉවත්වීමට සූදානම් විය යුතුය.

ශ‍්‍රී ලංකාව දියුණු සමාජයක් බව කියන නමුත් පරිසරය ආරක්ෂා කරන සේ කරන ඉල්ලීම් පමණක් නොව නීතිය ද ගණනකට ගන්නේ නැත. නොබෝදා පැවැති දේශපාලන පක්ෂ සංවත්සරය වෙනුවෙන් කොළඹ නගරය පමණක් නොව තදාසන්න ප‍්‍රදේශ සරසා තිබුණේ කටවුට් හා බැනර් වලින්ය. සම්මේලනයට පසු නගරය පිරිසිදු කර ඒවා ඉවත් කරන ලද නමුත් බැහැර කරන්නේ පරිසරයටය. මෙම සැරසිලි වලට විශාල වියදමක් කරන ලද බව නිසැකය. හෙට අනිද්දා තවත් දේශපාලන පක්ෂයක සංවත්සරය එන විට එයට නොදෙවෙනි සැරසිලි වලින් සරසනු ඇත. අන්තිමේ දී මෙම මුදල් වියදම් කිරීම පරිසරයට අහිතකරය. ප‍්‍රතිපත්ති වලට නරකය. ඒවාය මුදල් සොයාගන්නා මාර්ග දූෂණයට අතවනයි.

කටවුටට් හා බැනර් කියවන විට ඒවායේ සදහන් පණිවුඩ ජනතාවට නොවේ. පක්ෂ නායකයාටය. තරඟයට බැනර් හා කටවුට් ප‍්‍රදර්ශනය කර පක්ෂ නායකයාට තම කැපවීම පෙන්වන්න විට නායකයෝ ඒවායෙන් සතුටට පත්වනවාදැයි අපට ප‍්‍රශ්නයක් තිබේ. පක්ෂ නායකයන් ගේ ඇහැට පෙනෙන්නට බැනට් කටවුට් වලින් එල්ලන විට ඒවායෙන් පී‍්‍රති වෙන්නට තරම් පක්ෂ නායකයෝ අනුවණද? නැත්නම් මෙම සැරසිලි වලින් තමන්ගේ බලය වැඩි බව ජනතාවට පෙන්වන්නට හදනවාද? දේශපාලන පක්ෂ සිය බලය හෝ හැකියාව බැනර් කටවුට් හෝ දැවැන්ත බිල් බෝඞ් වලින් පෙන්වන්නට තරම් දුර්වල ද? බස් පුරවා සෙනග ගෙනැවිත්, පක්ෂ සාමාජිකයන් ටී ෂර්ට් අන්දවා තමන්ගේ බැනර් යටින් පෙලපාලි යැවීම දේශපාලනඥයන්ගේ ශක්තිය මනින මිනුම් දණ්ඩක් ද? නැතිනම් පක්ෂ වල දෙවැනි පෙල අතර තම තමන් ඉස්මතු වෙන එක්තරා ආකාරයක සටනක් ද? පක්ෂ ප‍්‍රතිපත්ති වලට පමණක් නොව පරිසරයට ද නරක මෙකී උපාය වලින් ඉවත් වෙන්නට සියළුම දේශපාලන පක්ෂ වලට වගකීමක් ඇත.

පොලිතීන් පාවිච්චි කරන්නට එපා යැයි පක්ෂ නායකයෝ නොයෙක් වතාවල කියා තිබේ. තමන්ගේ පින්තූර ප‍්‍රදර්ශනය කරන බැනර් කටවුට් එල්ලන්නට එපා යැයි සෑම නායකයෙකුම අවධාරණයෙන් කියා තිබේ. පක්ෂයේ නායකයාගේ වචනය නොසලකන තරමට ඒවායේ සාමාජිකයන් ගේ විනය පිරිහී ඇත්දැයි සලකා බැලීම අවශ්‍යය. පක්ෂ සාමාජිකයන් පාලනය කරගන්නට නොහැකි නායකයන්ට රට පාලනය කරන හැකියාව තිබේද? පොලිතීන්, බැනර් සහ කටවුට් පමණක් නොව මැතිවරණ නීතිය ද උල්ලංඝනය කරන දේශපාලනඥයන් පාලනය කරගන්නට නායකයන් පියවර ගැනීම ඉතාම වැදගත්ය. පක්ෂයට හා නායකත්වයට පොදු ජනතාවගේ ප‍්‍රසංසාව ලැබෙන්නේ ඒවායෙන්ය.

රට පාලනය කරන සහ පාලනය කරන්නට බලය ඉල්ලන නායකයන් නීතිය සලකන්නේ නැත. එය පුදුමයට මෙම සැරසිලි වලට වියදමක් ඇති බව තවත් ගැඹුරින් සලකන විට පෙනේ. ඒවා ගෙවන්නේ බැනර් එල්ලන දේශපාලනඥයන් නොවේ. අනුග‍්‍රාහකයෝ ඒවාට ගෙවන අතර එය ද එතරම් හොඳ දෙයක් නොවේ. පක්ෂයක හෝ දේශපාලනඥයෙකුට බලය පෙන්වන්නට ධනය තෑගි දෙන විට එහි පිටුපසින් ඇඟවෙන කතාන්දරය දූෂිත තත්ත්වයකි. ප‍්‍රසිද්ධ ස්ථාන වල මේවා එල්ලන්නේ නිසි අවසරය රහිතවය. එය තවත් නරක පූර්වාදර්ශයකි.

පොලිතීන් නීතිය පැනවූ විට එය ආදර්ශවත්ව අනුගමනය කරන්නට දේශපාලන පක්ෂ වලට හා නායකයන්ට ආත්ම ශක්තිය තිබිය යුතුය.  ඕනෑම නීතියක් නොසලකන තරමට ඇතැම් දේශපාලනඥයන් බලය අතට ගන්නා බව ප‍්‍රසිද්ධ රහසකි. එය හෙළිදරව් කරන කදිම සාක්ෂියක් බවට පොලිතීන් බැනර් කටවුට් පත්ව තිබේ.