milinda-prashna

2017/07/12 – ලංකාදීප

සියළු දෙනාම තොරතුරු දැනගැනීමේ තද උවමනාවක සිටී. ලෝකයේ කොතැනක වේවා සෑම ජන සමාජයකම සිදුවන්නේ කුමක් දැයි දැන ගන්නට ඇත්තේ තරඟයකි. අතීතයේ කටකතා මාධ්‍යය භාවිතා විය. අදත් කටකතා පැතිරෙයි. එහි සිට අද නූතන යුගයේ තාක්ෂණික සමාජ මාධ්‍ය භාවිතාව දක්වා සන්නිවේදන ව්‍යුහය ඉතා පුලූල් හා සංකීර්ණ ස්වභාවයක් ගෙන තිබේ.

ජනතාව තොරතුරු දැනගන්නේ මාධ්‍ය කුමක්ද? නොබෝදා ඇමරිකාවේ දී කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල නිකුත්ව ඇත. එයින් අනාවරණය කරන පැති අවධානයට ගත යුතුය. 2016 වසරේ දී ඇමරිකානුවන් ගේ සියයට හැට දෙකක් තොරතුරු දැනගෙන ඇත්තේ සමාජ මාධ්‍ය වලින්ය. මෙම සමීක්ෂණය ගැන අදහස් දක්වන විචාරකයන්ට අනුව මෙය එක්තරා අන්දමට අසත්‍ය ප‍්‍රවෘත්ති සමාජය තුළ පැතිරයාම පෙන්වන කදිම දර්ශකයකි. අන්තර්ජාලය යනු වාරණයක් රහිතව වෛරී අදහස් පතුරවන, එරෙහි එනම් විරුද්ධ මත ඇති කරන සහ සමාජය බේධ බින්න කරන මතවාද පතුරවන තැනක් යැයි  විද්‍යාර්ථීන් කියන්නට පටන්ගෙන තිබේ.

පදනම් විරහිත තොරතුරු සමාජගත කරන මාධ්‍ය ජාලා වලින් කරන විනාශය ගැන ලෝකයේ නොයෙක් රටවල් වලින් කරුණු වාර්තා වෙයි. ඇමරිකානු ජනාධිපතිවරණය වකවානුවේ ෆේස් බුක් සමාජ මාධ්‍ය තොරතුරු ඒකපාර්ශවික අදහස් පතුරවන බවට චෝදනා  එල්ල වූ අතර ෆේස්බුක් පරිපාලකයෝ ඒ ගැන වෙනම පරීක්ෂණයක් පවා පවත්වන ලද බව සඳහන් කළ යුතුය. තොරතුර මගින් ඇතිකරන බලපෑම නොසලකා ආන්දෝලනාත්මක ලිපි  ඇතැම් සමාජ මාධ්‍ය උවමනාවෙන් පළකරන බව පෙනේ. තරගකාරීව තොරතුර පළ කර අවධානය ගැනීම එහි අරමුණ වන අතර එය වානිජ සමාජ මාධ්‍ය දෙස ජනතාවගේ අවධානය වැඩි වන විට සම්ප‍්‍රදායික මාධ්‍යයට ද එහි ඇති දේ කාන්දු වෙයි.

එනම් පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි ප‍්‍රචලිතව ජනතාව කෙරෙහි බැදුන මාධ්‍ය පවා පරිවර්තනයකට ලක්වන බව නිරීක්ෂණය කළ හැකිය. අනෙක් මාධ්‍ය සමග පවතින තරඟයෙන් මිදෙන්නට නොහැකියාව හෙයින් මෙකී අංශ පත්වෙමින් ඇති ව්‍යුහය ද ඉතාම බරපතල තත්ත්වයකි. සමාජයට හිරිහැරදායක විත්ති කිසිම පාලනයකින් තොරව පළ කරන සමාජ මාධ්‍ය එයින් ජනතා ආකර්ශනය අත්කරගන්නා අතර එය ඔස්සේ වෙළඳ දැන්වීම් උපයා ගැනීමේ කාර්යය ද අරඹා ඇති බව දැක්වෙයි.  ඕනෑම දෙයක් පළකරන අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පාලනය කිරීම ද කළ හැකි දෙයක් නොවේ. වැදගත්ම පැත්ත අනෙකයි. වඩා ජනතාවගේ අවධානය දිනා ගෙන ඇති සමාජ මාධ්‍යයෙහි ව්‍යාපාරිකයන් දැන්වීම් පළ කරන හෙයින් එහි අවාසිය ද උසුලන්නට සම්ප‍්‍රදායික මාධ්‍ය වලට සිදුවී තිබේ.

වෙබ් හා සමාජ මාධ්‍ය මගින් වර්තමානයෙහි ඇතිකරගෙන තිබෙන පටු ආකර්ශණය තේරුම් ගත යුතුය. පවතින තත්ත්වය දෙස වඩා වගකීමක් ඇතිව සලකා බැලීම ද අවශ්‍යය. තමන් ගන්නා තොරතුර ඇත්ත නොවන බව දැන දැනම එයට ඇබ්බැහි විය යුතු ද යන්න ජන සමාජය තීරණය කළ යුතුය. සම්ප‍්‍රදායික මාධ්‍ය තමන්ගේ තොරතුරු හැසිරවීම ගැන ඇති වගකීම එලෙසම පවත්වාගෙන යන්නට තද අධිෂ්ඨානයකට යා යුතුව තිබේ. ඉතාම වැදගත් කාරණය එයයි.