milinda-prashna

2017/06/28 – ලංකාදීප

විශ්ව විද්‍යාල ශිෂයන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී කරන ලද කලබැගෑනිය පරණ ප‍්‍රවෘත්තියකි. ශිෂ්‍ය ප‍්‍රජාව එතැනින් ඉවත් කරන්නට විශශේෂ කාර්ය බලකාය කැඳවීම ගැන ද සමාජය එතරම් තැකීමක් කළේ නැත. මෙම පැති දෙක එක තලයක තබා ප‍්‍රශ්න කරන විට පෙනෙන්නේ ඉතාම භයානක තත්ත්වයකි.

දරුවන් හැසිරුන අන්දම හොඳ නැත. බලහත්කාරයෙන් ඇතුළු වී අමාත්‍යංශයේ වැඩ කරන කාර්ය මණ්ඩලය අපහසුතාවයට පත් කරන ලද අතර එහි ඇතිවූයේ නරක ස්වභාවයකි. දරුවන් ක‍්‍රියා කළේ වෛරයෙන්ය. මෙම දරුවන් ද ජාතියේ සම්පත්ය. දරුවන් මෙම තත්ත්වයට පත් කරන ලද පසුබිම නිර්මාණය කළේ අප සියළු දෙනාමය. අපි එයට වගකිව යුතු වෙමු. පුද්ගලික විශ්ව විද්‍යාලයක් ගැන රජයේ ප‍්‍රතිපත්ති තීරණයක් වෙනස් කරන්නට බුද්ධිමත් දරුවන් කොටසක් මෙබදු දරුණු ආකාරයකින් හැසිරෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.

දරුවන්ගේ කලබලය මැඩ පවත්වන්නට වි‍ශේෂ කාර්ය බලකාය කැඳවීය. එය ආණ්ඩුව සතු ඉතාම ප‍්‍රබල ප‍්‍රහාරක බල ඇණියකි. විශේෂ කාර්ය බලකාය පිහිටුවන්නේ ත‍්‍රස්තවාදය මර්දනය සඳහාය. දරුවන් පාලනය කරන්නට මෙපමණ බලවත් බල ඇණියක් කැඳවන හේතුව කුමක්ද? අවි අමෝරා ගත් බිහිසුණු කණ්ඩායමක් මැදට පැන යටත් කරන්නට නම් එය සාධාරණ විය හැකිය. නමුත් රජයේ කාර්යාලයක සහ ශිෂ්‍ය උද්ඝෝෂණයකට මෙබදු මැදිහත්වීමක් අවශ්‍යද?

විශ්ව විද්‍යාල සිසුන් පමණක් නොව විශේෂ කාර්ය බලකාය යන කණ්ඩායම් දෙකම මේ රටේ ඉතාම ප‍්‍රබල කොට්ඨාශ දෙකකි. විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්නට ලැබෙන්නේ ඉතාම දක්ෂ පිරිසකටය. විශේෂ කාර්ය බලකාය ද තරුණන් අතරින් තෝරා ගත් දක්ෂ බුද්ධිමත් කොටසකි. එතැනට තෝරා ගන්නේ ද විශාල තරගයකින් අනතුරුවය. ශිෂ්‍යයන් හොඳට ඉගෙනුම ලබා ඇති අතර රජය ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබේ. විශේෂ කාර්ය බලකාය ද රජයේ වියදමින් ඉතාම ඉහළ පුහුණුවක් දී මෙරට ආරක්ෂක අංශයේ ඉහළම තැනට තෝරා ගන්නා ලද කණ්ඩායමකි. දෙපිරිසම තරුණන්ය. සමාජයක් වශයෙන් අප සියළුම දෙනා එකතු වී රටේ ඉහළම තැන් වලට තෝරාගත් කණ්ඩායම් දෙකක් එක තැනකට කැඳවා ගැටුමක් නිර්මාණය කිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. ඉතා දක්ෂ ශිෂ්‍යයන් හා ඉතා දක්ෂ හමුදාවක් එකිනෙක ගැටී විසඳා ගන්නට තැත් කරන ප‍්‍රශ්නයේ ස්වභාවය කුමක්ද? අප සියළුම දෙනා තේරුම් ගත යුතු යතාර්ථය එයයි.

ආණ්ඩුව මෙම ප‍්‍රශ්නය ගැන සාවධාන විය යුතුය. කවර හෝ ප‍්‍රතිපත්ති ප‍්‍රශ්නයක් ගැන සමාජය තුළ යම් අර්බුදයක් තිබේ නම් ඒවා පැහැදිලි කර සාකච්ඡා කර විසඳා ගැනීමට පියවර ගත යුතුය. විශ්ව විද්‍යාලයට එන තරුණයා පමණක් නොව විශේෂ කාර්ය බලකායේ තරුණ සෙබලා ද එකම පංතියේ කොටස් දෙකකි. ඔවුන් මෙම ගැටුම හමුවේ ඉහළට හා පහළට පැමිණ ඇත්තේ ස්වකීය අරමුණ අනුව නොව ආණ්ඩුව වෙන්කර දුන් විධානය අනුවය. සමාජයේ පහල කොටස මෙබදු ප‍්‍රයත්නයක පවතින විට රටක් ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? අපට ඇති ප‍්‍රශ්නය එයයි. රට හදන්නට රට අලූත් තැනකට ගෙන යන්නට ශක්තිය හා ජවය යොමු කළ හැකි පාර්ශව දෙකක් එකට ගැටෙන විට රටක් හදන්නට පුලූවන් කමක් තිබේද?

පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල ඇති කිරීමේ තත්ත්වය මෑත සෑහෙන කාලය තුළ නොයෙක් වතාවක් අරගල ඇති කරගත් එකකි. එයින් මෙරට දේශපාලනඥයන්, වෘත්තීයවේදීන්, දරුවන් පමණක් නොව අවසාන වශයෙන් සමස්ථ සමාජයට බෙදා වෙන් කර තිබේ. එක ප‍්‍රශ්නයක් වෙනුවෙන් මෙපමණ කලබැගෑනියක් වන විට රට තුළ සංහිදියාවක් ගැන අවධානය යොමු කළ හැකිද? රටට ඇති ප‍්‍රධානම පීඩනය ඉවසීමක් නැති කම බව පෙනේ. අවසානයේ සමාජයම සම්පූර්ණ කෝලාහලයක් බවට පත්ව බුද්ධිමත් සහ ශක්තිමත් සියළු දෙනා වේදනාවට පත් වෙන්නට කලින් මෙම පසුබිම ගැන හොදින් තේරුම් ගැනීම අප රටේ වැසියන් සතු බරපතල වගකීමකි.