milinda-prashna

2017/06/14 – ලංකාදීප

භීතිය ජන සමාජයෙන් පහව ගොස් තිබේද? ආරක්ෂාව ගැන තහවුරුවක් ඇත් ද? මෙවැනි ප‍්‍රශ්න විමසන විට අප සියළුම දෙනාට එකිනෙකට වෙනස් උත්තර ඇත. නමුත් අවසානයේ දී එකඟවන කාරණයක් තිබේ. එනම් පොලිසිය හා ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වන නමුත් ජීවිත සහ දේපොල සියයට සියයක් ආරක්ෂිත නැති බවය. රටක් දියුණු වන විට ජනතාව ගේ පැවැත්ම දියුණු වෙයි.  එය සාමකාමී සහජීවනයට මගකි. පුරවැසියන් උපයන ආදායම ජීවත්වන්නට ප‍්‍රමාණවත් වන විට සැනසිලිදායක බව ඇති කරයි. සමාජ සංවර්ධනය හා ආර්ථික දියුණුව සමග සමාජ සුරක්ෂිතතාව තහවුරු වන බව පිලිගත යුතුය.

එසේ නමුත් දිනපතා සිදුවීම් වලින් පෙන්වන්නේ රට තුළ පවතින අමිහිරි තත්ත්වයයි. බක් මාසයේ අවුරුදු සතුට ප‍්‍රකාශ වන අතරවාරයේ වාර්තා වෙන්නේ ඝාතන හා සොරකම්ය. වෙසක් යනුවෙන් රට බෞද්ධාලම්බන ප‍්‍රීතියෙන් ඇළලෙන විට ද අපරාධ වල අඩුවක් නැත. පොසොන් සඳ උදාවෙන අතරතුර පවා මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ ගැන අහන්නට ලැබේ. රට පුරා පොලිසිය සැරිසරයි. නීති රීති තදය. අධිකරණයෙන් සමාවක් නැත. එසේ තිබිය දී පවා අපරාධ ඉහළ මට්ටමකය. එපමණක් නොව මත්පැන්, මත්ද්‍රව්‍ය සහ නොයෙක් ජාවාරම් ගැන වාර්තා වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ පවතින මෙම ස්වභාවය එතරම් යහපත් නැත.

ජාත්‍යන්තර වාර්තා පෙන්වන්නේ ඝාතන හා සොරකම් අඩුවෙන්ම වාර්තාවන රට බවට ජපානය පත්ව ඇති බවය. මිනීමැරුම් වාර්තාවෙන්නේ ලක්ෂයකට දශම තුනක ප‍්‍රතිශතයකින්ය. පසුගිය වසර දහ තුන තුළ මනුෂ්‍ය ඝාතන වාර්තාගත සේ අඛණ්ඩව පහත වැටී තිබේ. පොලිසියට පරීක්ෂණ මෙහෙයවන්නට සිද්ධි නැත. එහෙයින් ජපානයේ නොසලකා හැරිය යුතු ඉතා සුළු සිද්ධියක් ගැන පරීක්ෂණ පවත්වන්නට සෑහෙන නිලධාරීන්  ප‍්‍රමාණයක් යෙදවෙති.  ලෝකයේ ජන අනුපාතය අනුව මනුෂ්‍ය ඝාතන වැඩියෙන්ම සිදුවන රට වශයෙන් සලකන්නේ රුසියාවයි. ඇමරිකාව, කැනඩාව සහ ප‍්‍රංශය ද ප‍්‍රමුඛ ලැයිස්තුවේ සිටී. සොරකම් සම්බන්ධයෙන් ඉහළම තැන පසුවෙන්නේ ප‍්‍රංශයයි. අනතුරුව ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය බව දැක්වෙයි. ශ‍්‍රී ලංකාව මෙම ලේඛනයේ සැලකිය යුතු තැනක නැති නමුත් පවතින තත්ත්වය එපමණ යහපත් නැත.

අවධානයට යොමු කළ යුතු මෙම ඉලක්කම් ගැන පමණක් නොවේ. එහි සඳහන් නොවන පැත්ත ගැනය. ආණ්ඩුව සාමකාමී රටක් වෙනුවෙන් විශාල ධනයක් වියදම් කරයි. පොලිස් සේවාව නඩත්තු කරන අතර ත‍්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් ද සිටී. රාජ්‍ය එකී පිරිවැය දරන අතර හැකි සෑම ආයතනයක්ම සෑහෙන පමණින් වියදම් කර ආරක්ෂක සේවා පවත්වාගෙන යයි. විශේෂිත පුද්ගලයෝ පවා ආරක්ෂාව වෙනුවෙන් පිරිවැයක් දරති. විශේෂ තාක්ෂණ මෙවලම් ද වර්තමානයෙහි භාවිතා කෙරේ. රට තුළ ආරක්ෂිත බව ඇතිකරන්නට අවධානය ඇති බව පෙනෙන නමුත් නැති බව දැනෙන්නේ ද පොදු ජනතාවගේ සුරක්ෂිතතාවයයි.

සිද්ධි පිලිබඳව පරීක්ෂණ කඩිනම් කළ යුතුය. බුද්ධි අංශ අපරාධ මර්දනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යය. අධිකරණ ව්‍යුහය තුළ ද ප‍්‍රමාදය තුරන් කරන්නට අවශ්‍යය. සාමාන්‍යයෙන් පොලිසිය හා පොලිස් කොට්ඨාශයේ වෙසෙන ජනතාව අතර සම්බන්ධතාව වැඩි දියුණු කළ යුතුය. ජනතාව පොලිසියට යන්නේ නැත. පොලිස් නිලධාරීයා ගැන සමාජයේ ඇති ප‍්‍රතිරූපය යහපත් එකක් නොවේ.

ලෝකයේ නොයෙක් රටවල ජනතාවගේ ජීවිත යහපත්ව ඇත. සරල සහ සාමකාමී වී තිබේ. ආගමික පරිසරය බහුල, උසස් සංස්කෘතියක් සහ පවුල් සම්බන්ධතා දැඩිව පවතින ශ‍්‍රී ලංකාවේ ජන සමාජය වඩා සුරක්ෂිත තැනක් කිරීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුය.