milinda-prashna

2017/05/17 – ලංකාදීප

ප‍්‍රංශ ජනාධිපතිවරණය ගැන නොබෝදා දක්වා ජාත්‍යන්තර අවධානය යොමු වී තිබිණ. ලෝක ප‍්‍රජාව කතාකරන්නේ අලූත් ජනාධිපති එමානුවෙල් මැකේන් ගේ සම්ප‍්‍රාප්තිය සමග මතුවූ අලූත් පැති සම්බන්ධවය.
බලයට පත්වන නායකයාගේ තේජස සාමාන්‍යයෙන් අපට හුරු පුරුදු පිලිවෙතය. ප‍්‍රකාශිත ඡුන්ද වලින් සියයට හැටහයක ප‍්‍රතිශතයක් ලබාගත් එමානුවෙල් ප‍්‍රංශ ජනාධිපති ධුරයට පත්වන විට විශාල තේජසක් තිබිණ. වැදගත් වූයේ හෙතෙම ජයග‍්‍රාහීව හැසිරුණ අන්දම අනුව නොවේ. සාමාන්‍ය මනුෂ්‍ය ගුණාංග පෙන්වමින් අනාවරණය කළ පරිනත භාවයයි. ඔහු තුළ ආත්මාර්ථකාමීත්වය නොවීය. තමන් ජයගත් බව පෙන්වා පරාජය වූ හිටපු ජනාධිපතිවරයා පැත්තකට කළේ නැත. බල හුවමාරුව සිදුවූ වෘත්තීය විලාශය ශ‍්‍රී ලංකාවට නැවත නැවතත් ආදර්ශයකි.

ප‍්‍රංශයේ හිටපු ජනාධිපති හොලන්ඬේ ගේ උපදේශක හා පසුව ආර්ථික අමාත්‍ය ධුරයට පත්කරගත් එමානුවෙල් පසුගිය වසරේ දී ඒ වන විට තිබුණ දේශපාලනය ප‍්‍රතික්ෂේප කර ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය. එන් මාර්චේ නමින් අලූත් පක්ෂයක් හැදු හෙතෙම ජනතාව අතරට ගියේ මෙයට කලින් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවූ නොකිළිටි පුද්ගලයෙකු වශයෙන්ය. මැදි මාවතේ ප‍්‍රතිපත්ති අනුගමනය කරන අලූත් නායකයෙකු වශයෙන් හෙතෙම ජනාධිපතිවරණ වේදිකාවේ දී රට පවතින අර්බුදකාරී තත්ත්වය විවේචනාත්මකව ගෙන හැර දැක්වීය. පැවැති සමාජවාදී හා ඩිමොක‍්‍රටික් පක්ෂ වල ප‍්‍රතිපත්ති ගැන රටවැසියන් අතර විරෝධයක් ඒ වන විට පැවැතිණ. 1980 ගණන් වල සිට එරට බලය අල්ලාගෙන සිටියේ කුඩා පක්ෂ තමන්ගේ තනියට හේත්තු කරගනිමින්ය. පක්ෂ ගණනාවක් එකතු වී රට කරගෙන යන විට ප‍්‍රංශයේ පැවැත්ම හා සමාජ ව්‍යුහය යම් අභියෝගයකට මුහුණ දුන් බව පැහැදිලිය. විවිධ රටවලින් පැමිණ ප‍්‍රංශය තමන්ගේ භූමිය වශයෙන් තෝරාගත් සංක‍්‍රමණිකයන් හෙයින් ප‍්‍රශ්න ඇති බව එරට ජනයා කතා කරන්නට පටන් ගත්තේය. මෙකී අදහස් මෝරා වැඞී ඉහළට පැමිණි අවස්ථාවේ දී වත්මන් ජයග‍්‍රහණයට ඉඩ පාදා ඇති බව විචාරක අදහසයි.

ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු එමානුවෙල්, හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඔහු භාරයේ පැවැති ආරක්ෂක තොරතුරු හුවමාරු කරගත්තේය. ජනාධිපති තනතුර භාරගන්නා විට කරන ලද කෙටි දේශනයේ දී හෙතෙම රට අද පවතින තැනට ගෙන එන්නට කැපවූ හිටපු නායකයන්ගේ දක්ෂතා පක්ෂ බේධයෙන් තොරව අගය කළේය. එකිනෙකා සතු දක්ෂතා අනුව එකිනෙක පැතිවලින් රට ඉදිරියට පැමිණි බව තක්සේරු කරන්නට හෙතෙම නිර්ලෝභී විය. වඩා කාර්යශූර, වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ගොඩනැගීම තමන්ගේ අරමුණ බව කියා සිටි අතර රටවැසියන් ගේ ආත්ම විශ්වාසය නැංවීම ඉලක්කය බව සදහන් කළේය.

සියයට හැට හයක ජන වරමක් ලැබූ එමානුවෙල් ප‍්‍රතිවාදීන්ට චෝදනා කළේ නැත. දේශපාලනඥයන් රට විනාශ කරන ලද බවක් නොකීවේය. ආර්ථික හා සමාජ වශයෙන් රට පරිහානියට පත්කරන ලද දේශපාලනඥයන්ගෙන් පලිගන්නේ යැයි ජය ඝෝෂා මැද කියන්නට නොගියේය. වෙනස එයයි.
ශ‍්‍රී ලංකාවේ මැතිවරණයක් හමාර වන විට ජයග‍්‍රාහකයන් හා පරාජිතයන් අතර වහසිබස් කොපමණද? දිනන අය කියන්නේ පරාජිකයන් රට කෑ බවය. කිසිම පාලකයෙක් කරන ලද හොඳ දේවල් එකක්වත් අලූත් පාලකයා දකින්නේ නැත. ආණ්ඩු කිරීම සාමුහික කර්තව්‍යයක් සේ සලකන්නේ නැති මෙරට නායකයෝ හැසිරෙන්නේ තද ආත්මාර්ථකාමීන් ලෙසය. තමන්ට පමණක් රට හදන්නට පුලූවන් වන අතර අනෙකාට බැරි වූ බව ප‍්‍රකාශ කරන්නේ ඒවා ජනතාව විශ්වාස කරන බව උපකල්පනය කරමින් විය යුතුය. රට එකතු කරන බව බොහෝ විට කියන නමුත් ජනතාව පක්ෂ වශයෙන් බෙදා, පලිගැනීම් වලට ලක් කරන ආකාරය අනුව එය කිසිසේත් සිද්ධ නොවෙන කාරණයකි. ශ‍්‍රී ලංකාව කතා කරන්නේ සංහිඳයාව ගැනය. නමුත් දේශපාලනයේ නිරත අතලොස්සක් දෙනා අතර රට ඉදිරියට ගෙන යන අනෙක් පුද්ගලයාගේ ශක්තියට ගරුකරන ප‍්‍රතිපත්තියක් නැත්නම් සංහිඳීයාවක් ඇති කරන්නේ කෙසේද? ප‍්‍රංශය යුරෝපයට පමණක් නොව මුළු ලෝකයටම වැදගත් රටක් බව එමානුවෙල් ජනාධිපතිවරයා කියා ඇති අතර එය සනාථ කරන්නේ පුලූල් දර්ශනයක් ඇති පටු ආකල්ප වලින් තොර නායකයන් බව සදහන් කළ යුතුය.