milinda-prashna

2017/05/03 – ලංකාදීප

දුප්පත්කම කුමක්ද? පොහොසත් වෙන්නේ කොහොම ද? සමාජයේ සියළු දෙනාට මෙම කාරණය ගැන නොයෙක් පැති වලින් අදහස් තිබේ. ලෝකයේ නොයෙක් රටවල් උත්සාහ කරන්නේ දුප්පත්කමෙන් මිදී පොහොසත් සමාජයක් ඇති කරගන්නටය. දියුණු සහ අතමිට හිඟ නැති ජන සමාජය තුළ ප‍්‍රශ්න අඩු බව පිලිගැනීමයි. නමුත් ඇත්ත එය නොවේ. සමාජයක් දියුණු වන විට වෙනත් පැති වලින් ගැටළු මතුවෙයි. දුප්පත් හා පොහොසත් වශයෙන් තල දෙක අතර පවතින පරතරය පුළුල් වීම එයින් ප‍්‍රධාන එකකි.

අඩු ආදායම් මටට්මක සිට ඉහළ ආදායම් මට්ටමකට පැමිණෙන ඕනෑම පාර්ශවයකට තමන් උපයන ලද ධනය භාවිතා කිරීම කෙරෙහි නැඹුරුවක් ඇතිවෙයි. වියදම් කරන්නට පටන් ගන්නේ තත්ත්වය හුවා දැක්වෙන අන්දමටය. පාවිච්චි කරන වාහනය, ජීවත්වන නිවාසය, අඳින ඇදුම හෝ හැසිරෙන ආකාරය නොසිතෙන අන්දමට වෙනස් වෙයි. එය ඇති නැති පරතරය වැඩි කරයි. විවාහ උත්සවයක දී අත දිග හැර වියදම් කළ හැකි  නමුත් පොහොසත් පවුලක් එයින් දෙන පණිවුඩය කුමක්ද? පුළුවන් පුද්ගලයා අති විශාල වියදමක් මංගල්‍යයක් වෙනුවෙන් කරන අතර එහි අනෙක් පැත්ත තමන්ගේ මංගල උත්සවයට වියදම් නැති හෙයින් අසරණ පුද්ගලයෙකි. එය එක පැත්තක් පමණකි. අති සුඛෝපභෝගී නිවසක්, දරුවන්ට උසස්ම පාසලක් හෝ ඉතාම වටිනා වාහන වැනි වශයෙන් ඇති නැති පරතරය විදහා දැක්වෙන සේ ජීවත්වන සමාජ තුළ සම්මුතිය බිඳ වැටේ.  ඕනෑම සමාජයක ජීවත්වන ජනී ජනයා අතර සම්මුතියක් තිබේ. එය මනුස්සකම ගැනය. පොහොසත් වෙන්නේ පරම්පරාවෙන් හෝ නොඑසේනම් ස්වෝත්සාහයෙන් වෙන්නට බැරි නැත. එසේ නමුත් ජීවත්වන්නට ධනය වියදම් කරන අන්දම අනුව මුලින් සඳහන් කරන ලද සමාජ සම්මුතියට සිදුවන්නේ හානියකි. එවැනි සමාජ තුළ බෙදීම්, ගැටීම් හා වෛරය පැතිරී තිබේ.

උතුරු යුරෝපය සහ නැගෙනහිර ආසියාවේ ඇතැම් රටවල ජනතාව තමන්ට ඇති ධනය පෙන්වා ඒවායෙන් අසීමිත සුඛ විහරණයක යෙදෙන්නේ නැත. සරල ජීවිත ගත කරති. නෝර්වේ, ජපානය, සිංගප්පූරුව වැනි රටවල ජනතාව ඒ අතරින් ප‍්‍රමුඛය. භාවිතා කරන වාහනය, නිවාසය හෝ තමන් පවත්වන උත්සවය අති විශාල ධනයක් වැය නොකරන මට්ටමින් පවත්වාගෙන යයි. සමාජ විනය හා සංවිධානය ඇති වෙන්නේ එයින්ය.

ශ‍්‍රී ලංකාව බෞද්ධ දර්ශනයට මුල් තැනක් දෙන ජනතාවක් වෙසෙන රටකි. ගතකරන්නේ වෙසක් කාලයයි. බුදු දහමට අනුව හැසිරෙන්නට උත්සාහ කරන වකවානුවයි. මධ්‍යම ප‍්‍රතිපදාව බුද්ධ දර්ශනය තුළ ඇති බලවත් පණිවුඩයකි. නමුත් සමාජය තුළ පෙනෙන්නේ ධනය සම්බන්ධ පවතින අසීමිත ආශාවයි. නවීන මෙවලම් සීමාවකින් තොරව පරිහරණයට ඇති නැඹුරුවයි. සම්පත් භාවිතාව සම්බන්ධ ආත්මාර්ථකාමීත්වයයි. තම ගමන බිමන වෙනුවෙන් සාමාන්‍ය වාහනයක් භාවිතා කළ හැකිව තිබිය දී ඒ වෙනුවෙන් නොමනා ධනයක් වියදම් කරන්නේ ඇයි? යුරෝපා රටක නම් එය ලජ්ජාවට හේතුවකි. තමන් ගේ අසල්වැසියා දුශ්කර ජීවිතයක් ගත කරද්දී අති සුඛෝපභෝගීත්වය නරක බව එම සමාජය තේරුම් ගෙන තිබේ. එය යහපත් ධර්මතාවයකි. රටේ පොදු ජනතාව අතෘප්තියෙන්, අඩුපහසුකම් වලින් ජීවත්වන කාලයක ඇති හැකි අය කළ යුතු සාමාන්‍ය ජනතාවගේ ගෞරවය දිනාගැනීමය.  ඇති අය පමණක් නොව පොදු ජනතාවගේ දේපොල පරිහරණය කරන අය පවා වපුරන්නේ වෛරයයි. පැලැන්ති පරතරය වැඩි කිරීමයි.

ආර්ථික අර්බුදයක් පවතින රටක බුද්ධිමත් පුරවැසියන් වැසියන් වශයෙන් මෙම වකවානුවේ දී ඉතා බුද්ධිමත්ව හැසිරෙන්නට අවශ්‍යය. ධනය වැඩි පුර ලැබෙන විට, යස ඉසුරෙන් පොහොසත් වන අවස්ථාවක සමාජයේ පෙනී සිටිය යුතු කෙසේදැයි වටහා ගන්නට මනා ප‍්‍රඥාවක් තිබිය යුතු බව සඳහන් කළ යුතුව තිබේ.