milinda-prashna

2017/04/26 – ලංකාදීප

අලූත් පාසල් වාරය ආරම්භ වී තිබේ. අවුරුදු නිවාඩුවට පසු පාසලට එන දරු දැරියන් මහ මාර්ගයේ දී ආරක්ෂා කරගැනීම බලවත් වගකීමකි. පාසල් දරුවන් ප‍්‍රවාහනය කරන වාහන වල අනතුරු පමණක් නොව පාර මාරු වන සිසු සිසුවියන් වාහන අනතුරුවලට මුහුණ පෑ ආකාරය ගැන මෑත ඉතිහාසයේ  සටහන්ව තිබේ. තවත් දෙයක් මතකයේ ඇත. වයඹ පලාතේ එක්තරා පාසලක් ඉදිරිපිට කහ ඉරෙන් පාර මාරුවන පාසල් දරුවන්ට සහාය වන කාන්තාවක් ගැනය. එය පුවත් පතක පළ වු අතර සෑහෙන කාලයකට කලින්ය.

නොබෝදා නයිජිරියාවේ ‘ල පස්’ නගරයෙහි පැතිර යන මේ හා සමාන සංකල්පයක් ගැන ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමු කර තිබිණ. එයින් කියැවුණේ සීබ‍්‍රා සත්වයෙකු සේ ඇඳගත් පුද්ගලයන් පාර මාරුවන ඉරි අසල කරන මෙහෙවරක් ගැනය. වේගයෙන් ධාවනය වන වාහන පාරේ සටහන් කර ඇති සීබ‍්‍රා ඉරි ගැන සැලකිල්ලක් නොදක්වන බව අවධානය ගත් කාන්තාවක් වාහන වලට බාධා වන සේ සීබ‍්‍රා ඉරි මැද හිටගත්තාය. එතැනින් නතර නොවූ ඇය සියළුම දෙනා පාර මාරු වී අවසාන වන තෙක් වාහනයට ඉදිරියට යා නොදී එය බදා ගෙන සිටියාය. මෙම වාහන හැසිරවීම පළමුවෙන් වාර්තාවූයේ මෙයින් අවුරුදු හතරකට කලින්ය. ක‍්‍රමයෙන් වැඩි දියුණු වු එය එක්තරා අවස්ථාවක දී සීබ‍්‍රා ඉරි සහිත ඇදුම් ඇගලාගෙන කරන ජාතික මෙහෙවරක් බවට පත් වී ඇත. අද වන විට එය හැඳීන්වෙන්නේ සීබ‍්‍රා වාහන පාලනයක් හැටියටය. ඉතාමත් වේගයෙන් ජනපි‍්‍රය වූ මෙම සංකල්පය නයිජීරියාවේ වාහන තදබදය වැඩි සෑම නගරයකටම පැතිර ගිය අතර අද වන විට මෙම සීබ‍්‍රා ස්වේච්ඡා බලකාය දෙසීය දෙනෙකු ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. රථ වාහන තදබදය හොඳටම වැඩි උදෑසන සහ හැන්දෑවේ වැඩට බහින මෙම සීබ‍්‍රා බලකාය ජනතාවට පරෙස්සමට පාර මාරු වෙන්නට ඉඩ පහසුකම් සම්පාදනය කරදෙන අතර එය ජනතාවගේ ගෞරවයට හේතු වී ඇත.

පාරේ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින මෙම සීබ‍්‍රා ස්වේච්ඡා සේවකයන්ගෙන් වැඩි කොටසක් තරුණන්ය. අද වන විට තරුණ පිරිස් වැඩිවශයෙන් එයට සම්බන්ධ වෙමින් තිබේ. ස්ථිරවම එහි නියැලෙන්නේ නැති අතර තාවකාලිකව තමන්ට පහසු අවස්ථාවල මෙම සුදු පසුබිමේ කලූ ඉරි ඇති ඇදුම ඇඳගෙන පාරට එන මෙම පිරිස ගීත ගයමින්, නටමින් විනෝදයෙන් රාජකාරිය කරති. පාසල් අසල දී දරුවන් හා රෝහල සමීපයේ දී වැඩිමහළු අය පාරෙන් එහා මෙහා කරන්නට ද ක‍්‍රියා කරන්නේ මෙම සීබ‍්‍රාවන්ය. විවේක අවස්ථාවක සමාජයට සිදු විය යුතු යුතුකමක් සේ සලකා වගකීමෙන් එහි නියැලෙති. මෙම සමාජ සත්කාරය නිසා නයිජිරියාවේ ‘ල පස්’ නගරයේ පමණක් නොව එයින් එපිට නගරවල ද වාහන අනතුරු යම් ප‍්‍රමාණයකින් පහත වැටී තිබේ. නිල බලයෙන් වාහන පරිපාලනයෙහි නිතර පොලිසිය කටයුතු කරන අතර වාරයේ දී මෙම ස්වේච්ඡා අදහස රටට අලූත් වටිනාකමක් ඇතිකර තිබේ.

මෙරට ප‍්‍රජාව ද තැනින් තැන අධික රථවාහන තදබදය ඇති විට ඒවාට මැදිහත්වන බව නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් පාසල් දරුවන්ම පාසල අසල වාහන හැසිරවීමෙහි නිරත වෙන්නේ පොලිස් නිලධාරීන් ගේ අධීක්ෂණය ඇතිවය. වැඩිහිටියන් හා කලාතුරකින් තරුණ පිරිස පාසල හා රෝහල අසල වාහන හා ජනතාව අතර සම්බන්ධීකරණයක් කරයි. හදිසි අනතුරක් අවස්ථාවක වාහන තදබදයක් ඇති වුවහොත් ඒවා නිරාකරණයට ඉක්මනින් මැදිහත් වෙන පුද්ගලයන් ද සිටී. මේවා එම සුළු වේලාවකට සීමා වන අතර අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නැති සිද්ධි සේ සැලකිය හැකිය.

වාහන තදබදය හා වාහන පදවන රියැදුරන්ගේ අවධානය ගැන සලකන විට අනතුරු බහුල වෙන්නට හේතුව කුමක්දැයි පැහැදිලිය. නීති මගින් පාලනය වන අතර තුර ප‍්‍රජාව ද තමන්ට හැකි ආකාරයෙන් මහ පාරේ අනතුරු වලක්වා ගැනීමට මහන්සිවීම සුදුසුය. අලූත් පාසල් වාරය ආරම්භ කරන මෙම සතිය ඒ ගැන අවධානය යොමු කරන්නට හොඳ අවස්ථාවකි.