milinda-prashna

2017/04/19 – ලංකාදීප

තීරණයක් ගැනීම ඉතාම වැදගත් කාරණයකි. පුද්ගලික ජීවිතයේ දී අප සියළු දෙනා තීරණගැනීම සම්බන්ධව පුද්ගල අනන්‍ය ස්වභාවයක පිහිටා කි‍්‍රයාකරයි. චරිතය මැන බලන්නට එයින් ලැබෙන පිටිවහල සුවිශේෂී එකකි.  ජනතා සංවිධාන, දේශපාලන පක්ෂ සහ අවසානයේ දී ආණ්ඩුවක් විසින් ගන්නා තීන්දු තීරණ ඉතා තීරණාත්මක කාර්යයක කොටසකි. තීන්දු නොගැනීම ද තීන්දුවකි. තීරණයක් නොගෙන කල්ගන්නා විට ඇති වන තත්ත්වයට වගකියන්නට සිදුවන අතර එයින් ඇතිවන යහපත හෝ අයහපත තීරණයක් නොගැනීමේ ස්වභාවයේ ප‍්‍රතිඵලයක් බව සඳහන් කළ යුතුය.

කොළොන්නාව කසල කන්ද ආශි‍්‍රතව ජීවත් වූ ජනතාවගේ ජීවිත ඛේදවාචකයක් බවට පත්ව තිබේ. එය තීරණයක් නොගැනීමේ ප‍්‍රතිඵලය මත උද්ගත වූ අවාසනාවන්ත තත්ත්වයකි. තීරණ නොගැනීම තීරණයක් බවට පත්ව ඇති බව මෙකී සිද්ධිය එක උදාහරණයකි.

දේශපාලනඥයන්, විද්වතුන් සහ ඒ අවට ජීවත් වූ ජනතාවට මෙම කසල බැහැර කිරීමේ ක‍්‍රමවේදය වෙනස් කළ යුතු බවට අදහස් තිබිණ. කසල දුම්රියෙන් ප‍්‍රවාහනය කර පුත්තලම ප‍්‍රදේශයේ ක්ලින්කර් වලවල් ගොඩකරන යෝජනාවක් විය. කසල යොදවා විදුලිය නිපදවන අදහසක් ද ඉදිරිපත්ව තිබිණ. ප‍්‍රතිචක‍්‍රීකරණය හා මෙම කසල වෙනත් ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කර විද්‍යාත්මකව බැහැර කරන ක‍්‍රමවේදයක් ගැන ද සාකච්ඡා කරමින් සිටියේය. මෙකී අදහස් ඉක්මනින් ක‍්‍රියාත්මක කරන සේ බලකරන ජනතා විරෝධතා පැවැති බව රහසක් නොවේ. එක් එක් යෝජනා වලට පක්ෂව මෙන්ව විපක්ෂව ද මත පැවැති බව ද ප‍්‍රසිද්ධ කාරණයකි. තර්ක කරමින්, විරෝධතා පවත්වමින් සහ අලූත් යෝජනා ගැන අවධානය යොමු කරමින් ඉන්නා අතරතුර කිසිම තීරණයක් ගත්තේ නැත. හරි හෝ වැරදි මොනයම් ආකාරයේ හෝ තීරණයක් ගත්තා නම් අද මුහුණ පා ඇති තත්ත්වය නිර්මාණය නොවෙන්නට ඉඩ තිබිණ. තීරණ නොගැනීම ඔස්සේ නිරායාසයෙන් මතු වූ තීරණය ඒ අවට ජීවත් වූ සෑහෙන පිරිසකගේ ජීවිත හා දේපොල විනාශ වී තිබේ. එයින් මතු කර ඇති ගැටළු ජන සමාජය නැවත නොසන්සුන් කර ඇත.

කසල බැහැර කිරීම පලාත් පාලන ආයතන වල වගකීමකි. ජාතික ප‍්‍රතිපත්ති අනුව එය කළ යුතු කෙසේදැයි පෙන්වා දීම ආණ්ඩුව සතු කාර්ය භාරයකි. ශ‍්‍ර‍්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම රටකටම කසල කළමණාකරණය සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන්නට සිදු වී තිබේ. එයින් ඇති කරන ප‍්‍රශ්න සංකීර්ණ හා බරපතල හෙයින් ලෝකයේ නොයෙක් රටවල් බොහෝ දුර දිග හිතා බලා කටයුතු කරමින් සිටී. ඇමරිකාව රාත‍්‍රී කාලයේ නැව් වලින් හා දුම්රියෙන් කසල ප‍්‍රවාහනය කර නගර පිරිසිදුව තබා ගනී. ඒවායේ ඇති ද්‍රව්‍ය වෙන්කර විද්‍යාත්මක ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩ පිලිවෙල අනුගමනය කරයි. ජපානය එහිලා ඉදිරියෙන් සිටින රටකි. චීනය, ඉන්දියාව පවා තමන්ට අනන්‍ය ක‍්‍රම අනුගමනය කරයි. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් පියවර ගන්නා බව නිරීක්ෂණය කළ හැකිය. මැදි ආදායම් රටක් සේ ඉදිරියට ගමන් කරන ශ‍්‍රී ලංකාවට එදිනෙදා බලපාන ප‍්‍රශ්න අතර කසල බැහැර කිරීම ද බරපතල එකක් බව නොඅනුමානය. ප‍්‍රශ්නය හදුනාගෙන එයට ස්ථිරසාර විසදුමක් සොයාගැනීම විනා තීරණ ගැනීම කල් හැරීමෙන් රටට හෝ සමාජයට කිසිම වාසියක් අත් පත් නොවේ. පිලිගත යුතු ඇත්ත ස්වභාවය එයයි.

නගරයේ එකතුවන කැළි කසල බැහැර කිරීම සම්බන්ධව නිසි තීරණ ගැනීම අවශ්‍යය. දේශපාලනඥයන්ට එයින් යැපෙන්නට සහ බලපුලූවන්කාරකම් පෙන්වන්නට ඉඩ දීමෙන් රටට  බරපතල අනර්ථයක් සිදුවන බව ඉගෙනගත් පාඩමයි. තීරණ නොගැනීමෙන් විශේෂිත අරමුණු සහිතව හැසිරෙන කොටසකට යැපෙන මාර්ග බිහිකර දෙයි. එය ඉතාමත් නරක තත්ත්වයකි. සිද්ධිය සමග මතුවූ ජනතා විරෝධය සහ එය කේන්ද්‍රගත වූ අන්දම රටට විශාල පණිවුඩයක් නිකුත් කර තිබේ. තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය ප‍්‍රමාද කළ යුතු නැති බව එහි දැක්වෙන ප‍්‍රධාන කාරණයයි. නමුත් තවත් සති දෙක තුනකින් මෙම සියළු තත්ත්වයන් අමතක කරන්නට ඉඩ තිබේ. ජනතාවගේ කෙදුළු සියළු දෙනාටම අමතක වනු ඇත. මොනවා හෝ සිදුවන අන්දමේ තීරණ ගැනීමේ ක‍්‍රියාපටිපාටියකින් විනා මෙවැනි සිද්ධි මගහරින්නට කිසිදු හැකියාවක් නැත.