milinda-prashna

2017/04/12 –  ලංකාදීප

විනය ඉතාම වැදගත්ය. පුද්ගලයෙකු හෝ රටක් නිසි විනයක් රහිතව ක‍්‍රියා කරන්නේ නම් පිරිහීම වැලැක්විය නොහැකිය. සහජීවනය ද ඉතාම වැදගත්ය. සාමූහිකව කණ්ඩායමක් වශයෙන් පැවැතිය හැකි නම් එය විශාල ශක්තියකි.  ඕනෑම අභියෝගයක් ජයගත හැකි පහසු මගකි.

ශී‍්‍ර ලංකාවට අනන්‍යතාවයෙන් ම විනය හා සහජීවනය යන සංකල්ප උරුම වී තිබේ. සිංහල හා දෙමල අලූත් අවුරුද්ද එයට එක උදාහරණයකි. අවුරුදු නැකත රටට විනයක් ගෙන එයි. සූර්යය මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන අලූත් කාලය තුළ නැකතක් නැති වේලාව නොනගතයයි. නොනගතය වේලාවේ දී මුළු රටම ආගමික වතාවත් වල නිරත වෙති. සෑම දරු පවුලක් ම සිය සංස්කෘතික උත්සවයේ දී යෙදෙන නැකැත් චාරිත‍්‍ර කරන්නේ ඒ අන්දමටය. එයින් පසු ව එළැඹෙන සුබ මොහොත අනුව  මුළු රටම එකම වෙලාවක ලිප ගිනි දල්වා අහර පිස අනුභව කර සුබ මොහොතකින් ගනු දෙනු කර අලූත් අවුරුද්ද ආරම්භ කරයි. මෙකී කටයුතු සියල්ල එක වෙලාවක කරන විනය රටට තිබේ. එය ඉතාමත් අගය කළ යුතු වතාවතකි. අනෙක් ප‍්‍රධාන කාරණය මෙකී විනය ඔස්සේ රටට ලැබුණ සහජීවනයයි.

අවුරුදු කාලයේ දී පැරණි අමනාපකම් දුරු වෙයි. අලූත් බැඳීම් ඇති වෙයි. රටම එක වෙලාවකට වැඩ කරන හෙයින් සහජීවනය ඔප් නැංවෙයි. වසරේ අනෙක් කාලයේ දී ජාති, ආගම් සහ දේශපාලන වශයෙන් නොයෙක් බෙදීම් මත ගැටුම් ඇතිකර ගනී. වාද විවාද වල පැටලෙයි. ශ‍්‍රී ලංකාවේ ජන සමාජය තරම් විවාද වල පැටලී කාලය නාස්ති කරන්නට සමත් රටක් ලොව වෙනත් තැනෙක නැති තරමට එය බරපතලය. මේවායෙන් පෙන්වා දෙන්නේ සහජීවනයක් නැති බවය. නමුත් අනවුරුද්දේ හුඟ කාලයක් ගැටුම්, මතබේධ හා ආරවුල් මැද ගත කරන රට අවුරුදු කාලයේ දී අපූරු සහජීවනයක් පෙන්වයි. අවුරුදු  නෑගමන් එහි සංකේතයකි. අවුරුදු උත්සය තවත් එකකි. වෙන  ඕනෑම කාලයක පවත්වන උත්සවයක දේශපාලන මුහුණුවරක් හෝ ගම බෙදී දෙපිලක් වන නමුත් අවුරුදු උත්සවයේ දී එවැනි අසමගියක් වාර්තා වෙන්නේ ඉතාම කලාතුරකින් බව නිසැකය. එපමණකටම මෙරට ජන සමාජයට ඓතිහාසිකව පැවැරුණ සහජීවන ලක්ෂණය කාවැදී තිබේ.

මෙකී ස්වභාවය අවබෝධ කරගත් අප සියළු දෙනා බක් මාසයෙන් ඔබ්බට විනය හා සහජීවනය  පවත්වාගෙන යා යුතුය. එය එසේ කරගෙන යා නොහැකි තත්ත්වයක් ඇති කරන බලවේගයක් තිබේ නම් එය කුමක්දැයි හදුනාගන්නට උත්සුක විය යුතුය. රටක පැවැත්ම වෙනුවෙන් විනය වැදගත් වෙන්නා සේ ම සහජීවනය ද ඉතාම වැදගත් බව සඳහන් කරන්නට අවශ්‍යය. නොයෙක් ජාතීන්, නොයෙක් භාෂාවන් කතා කරන ජන කොටස් ජීවත් වන රටවල් ලෝකයේ වඩාත්ම වේගයෙන් ඉදිරියට ගමන් කර තිබේ. වෙලාවට වැඩ කරන, හොඳ විනයක් සහිතව හැසිරෙන එකී සියළු රටවල් ජයග‍්‍රාහී තත්ත්වයට පත්ව ඇති අතර එහි ප‍්‍රතිඵල නොසලකා අවිද්‍යාත්මකව හැසිරෙන  ඕනෑම රටක් ගමන් කර ඇත්තේ අභාග්‍යය කරා බව තේරුම් ගත යුතුය.

ශී‍්‍ර ලංකාව ජාතිය ආගම හා දේශපාලනය වශයෙන් බෙදී ගත කරන ලද දශක තුනක පමණ කාලය  තුළ අත්පත් කරගත් අවාසිදායක තත්ත්ව සමාලෝච

නය කිරීමට සිංහල හා දෙමල අවුරුද්ද හොඳ අවස්ථාවකි. ජාත්‍යන්තර වශයෙන් ද රටට යෝජනා කරන්නේ විනය හා සංහිඳීයාවය. අප තුළ පවතින උසස් අනන්‍යතා බැහැර ප‍්‍රජාවගේ බලකිරීම් බවට පත්වනු දැකීම නුසුදුසුය. පවතින තත්ත්වය අවබෝධ කරගෙන අපට ඇති උසස් ගුණාංග භාග්‍යවන්ත මාසයෙන් ඉදිරියට ගෙනයාම කෙරෙහි බලවත් අවධානය යොමු කිරීම අප සියළු දෙනාගේම යුතුකමකි. වගකීමකි.