milinda-prashna

2017/04/05 – ලංකාදිප

සිංහල හා දෙමල අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. බක් මාසය උත්සව සමයයි. අස්වනු නෙලා ගෙට ගෙන සතුටින් පිරි කාලය භාග්‍යවත් මාසය සේ සැලකේ. එයට අනුරූප ආර්ථික සහ සංස්කෘතික අනන්‍යතා වලින් අපි‍්‍රයෙල් මාසය පොහොසත්ය.  ‘‘කොහොමද’’ යනුවෙන් ප‍්‍රශ්නයක් විමසුවහොත් ජනතාව අවුරුද්ද ගැන යමක් කියන්නට ඉඩ තිබේ. එය මෑත වකවානුව තුළ ජනතාවගේ සහ පාලකයන්ගේ අවුරුද්ද අතර පරතරය මැනැවින් පෙන්වන එකක් වනු ඇති බව නිසැකය.

ජනතාව තම නියෝජිතයන් පත් කරගන්නේ යහපත් පාලනයක් අරමුණු කරගෙනය. නමුත් ජනතාව වෙනුවෙන් රට පාලනය කරනවා වෙනුවට ආණ්ඩුවේ බලය වෙනුවෙන් දේශපාලනය කිරීමට මහජන නියෝජිතයන් නැඹුරු වී ඇත. එහි ප‍්‍රතිඵලය ජන ජීවිතය අපහසුතාවලින් බහුලවීමය. අවුරුද්ද ළඟ එන නමුත් ජනතාව අතරින් කොටසක් අපට මොන අවුරුදු දැයි කියන්නේ එහෙයින්ය.

පවතින ආර්ථික රාමුව හෙයින් අලූතින් පනවන ලද බදු වල බර ජනතාවට දැනෙන්නට පටන්ගෙන තිබේ. සියළු අත්‍යවශ්‍ය දේ සුළු වශයෙන් හෝ මිල ඉහළ ගොස් ඇත. ලැබෙන ආදායම සීමාසහිත අවස්ථාවක එයින් අවුරුදු උත්සවයට සූදානම් වන ජනතාවට මෙම වියදම තදින් දැනේ. වෙනදා තරම් මිල දී ගන්නේ නැති හෙයින් තමන්ගේ වෙළඳාම සරු නැති බව ව්‍යාපාරිකයෝ කියති. ආර්ථිකය ප‍්‍රසාරණ නොවෙන අවස්ථාවක එහි ස්වභාවය ජනතාවට වැටහෙන අතර ආණ්ඩුවේ ආදායම් වියදම් පරතරය වැඩිවෙන තරම අනුව කිසියම් අපහසුතාවයක් ඇති බව දැනේ. මේවා වෙනස් කර අලූත් ව්‍යුහයක් ගොඩනගන්නට නම් ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. එය ජනතාවට දැනෙන එකක් පමණක් නොව පාලකයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය යුතුය. පළමුවෙන් තිබිය යුතු කැපවීමයි.

අවුරුද්ද උදාවෙන්නේ පුරුදු රටාව තහවුරු කරමින්ය. සුපුරුදු පරිදි දේශපාලනඥයන් සාද පවත්වනු ඇත. අවුරුදු කාලයේ දී විදේශ ගත වන අදහස ඇතිව ගුවන් ටිකට් පත් වෙන් කර ගනිමින් සිටී. මැති ඇමැති දීමනා වැඩි කරගත් අතර දුරකථන දීමනා සහ ‘පොකට් මනී’ ද නංවා ගත්තේය. තව තවත් බලතල අපේක්ෂාවෙන් ඇතැම් අමැතිවරු කැබිනට් සංශෝධනයක් කෙරෙහි අවධානයෙන්ය. රට ආර්ථික අතින් දුෂ්කර තැනක බව දක්වන අතරතුර කෝටි ගණන් ධනය වෙන්කර වාහන වෙන්කර ගත්තේය. අමාත්‍යංශ වලට ගෙවන කුලිය ගැන කියැවෙන ප‍්‍රවෘත්ති වාර්තා අනුව ආණ්ඩුවක වියදම කොපමණදැයි තක්සේරු කිරීම අපහසු නැත. ජනතාව අවුරුදු කාලයේ වියදම් ගැන ලතැවුලෙන් ඉන්නා අතර මහජන නියෝජිතයන් මෙම කාලයේ ඉන්නේ ඉතාම සන්තෝෂයෙන්ය. ජනතාවගේ ආර්ථිකය හා පාලකයන්ගේ ආර්ථිකය අතර පරතරය මෙයයි.

පොදු ජනතාව ආණ්ඩුවක් පත්කරගන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා වඩා හොඳීන් සම්පාදනය කරන රටක් අපේක්ෂාවෙන් බව සඳහන් කළ යුතුය. හොඳ අධ්‍යාපන පහසුකම්, හොඳ පොදු ප‍්‍රවාහන සේවා, යහපත් සෞඛ්‍ය සහ අලූත් රුකී රක්ෂා යනා දී වශයෙන් ඒවා නම් කළ හැකිය. මැදි ආදායම් රටක පුරවැසියන් වශයෙන් සහනාධාර වලට වඩා අපේක්ෂා කරන්නේ සමාජ සාධාරණත්වය හා සමාන අවස්ථා යන සංකල්ප බව සඳහන් කළ යුතුය. නමුත් මේවා ගැන අවධානය යොමු කරන්නේ නැති මහජන නියෝජිතයෝ පුරුදු පරිදි තමන්ගේ අලූත් අවුරුද්ද ගැන අවධානය පමණක් අවධානය යොමු කරන අතර සාමාන්‍ය ජනතාව ගේ ජීවිත අලූත් කරන්නේ කෙසේදැයි හිතා බලන්නේ නැත.

පාලකයන්ට වඩා සතුටින් පුරවැසියන් අවුරුද්දට නෑගම් යන භාග්‍යවන්ත මාසයක් උදා කළ හැකි නම් වැදගත් වෙන්නේ එයයි. එකල්හි රටට නිසි කල සරු අස්වනු ලැබී සිත් සැනසීමෙන් අලූත් අවුරුදු මංගල්‍යයක් උදා වී ඇතැයි කියන්නට හැකිවන්නේය.