milinda-prashna

2017/03/29 ලංකාදීප

අපි එදිනෙදා ගන්නා ආහාර වේල ගැන නොයෙක් අදහස් තිබේ. කුස පිරෙන්නට පමණක් නොව ශරීරයට අවශ්‍ය පරිදි ආහාර තෝරා ගැනීමට බුද්ධිමත් විය යුතුය. ආහාර පුරුදු නරක නම් එය ජීවිතයේ අයහපත් පැත්ත උදෙසා බෙහෙවින් බලපාන බව සඳහන් කළ යුතුය. මැදි ආදායම් රටක් බවට පත් වන විට, තමන්ගේ ආහාර මොනවාදැයි තෝරා බේරා පරෙස්සමෙන් අනුභව කිරීමට රට වැසියන් නැඹුරු විය යුතුය. ගැලපෙන තරමට ආර්ථිකය හැදෙන විට දිනපතා ආහාර වේල ගැන සැලකිලිමත් වීම ජීවිතය නිරෝගීවත් කරයි.

කෑම පිඟානකට බෙදා ගන්නා ආහාර වර්ග වල විවිධ වර්ණ රුචිය ඇති කරන අතර එය එකිනෙකට වෙනස් පෝෂ්‍ය ගුණදායක තත්ත්වයන් උදෙසා බලපාන බව පෝෂණවේදීන් සාමාන්‍යයෙන් කරන නිර්දේශයයි. නමුත් සෑම වර්ණයකටම වඩා ඉහළින් කොළ පැහැය වැදගත් බව එකහෙළා පිලිගැනීමට ලක්විය යුතුව තිබේ. ශී‍්‍ර ලංකාව පිහිටා ඇති දේශගුණික කලාපය අනුව අධික මාංශ අනුභවය අවශ්‍ය නැත. පිටි වර්ග සහ තෙල් උපයෝගී කරගෙන සකස් කරන ලද ආහාර අධික වශයෙන් භාවිතය ද නුසුදුසුය. තන්තු බහුල අලූත් එලවලූ පලතුරු ඉතාම හිතකරය.

කොළ පැහැය සහිත ආහාර වර්ග මෙරට සුලබය. පලා වර්ග එයට හොඳ උදාහරණයකි. කොළ කැඳ පානය කරන ලෙස දේශීය වෛද්‍යවරු නිතර උපදෙස් දෙති. බටහිර වෛද්‍යවරු ද එය පිලිගෙන තිබේ. මෙරට ජනී ජනයා නොයෙක් පලා වර්ග එකතු කරගෙන කැඳ පිලියෙල කරගත්හ. පාරම්පරික සහල් උපයෝගී කරගෙන ගෙවත්තෙන් නෙලා ගත් කොළ වර්ගයක් ඇසුරෙන් සකස් කරගත්  කොළ කැඳ කුස පුරා පානය කර ශක්තිමත්ව හේන හා කුඹුර වැඩ කරන ගොවියන් ගැන අදත් උදාහරණ ඇත. නමුත් කාර්ය බහුල, කාර්යාල ජීවියට හුරු වන නවීන පරම්පරාව ඉක්මනින් එයින් බැහැරව ඉතාම වේගයෙන් ජීවිත නාස්ති කරගෙන තිබේ. පෙනෙන යථාර්ථය පිලිගැනීම වෙනුවට ආහාර වේල ගැන ඇතිකරගෙන ඇති ඇබ්බැහිය රට තුළ විශාල ව්‍යසනයක් කරන බව තේරුම්ගත යුතුය.

ගෙවත්තක වැවෙන කොළ පැහැති පලා වර්ග අතර ආහාරයට ගත නොහැකි දෙයක් නැති බව පැහැදිලිය. දේශීය වෛද්‍යවරු පමණක් නොව මෙරට ඉපැරණි ආහාර පාන ගැන විශාල උනන්දුවකින් ක‍්‍රියා කරන විද්වතුන් එය නොයෙක්වර පැහැදිලි කර දී තිබේ. අද මෙරට නාගරික ජනතාව පීඩා විඳීන අධික රුධිර පීඩනය, දියවැඩියාව ඇතුළු තත්ත්ව සඳහා පෙති හෝ කරල් භාවිතයෙන් තොරව නිසි පාලනය පවත්වාගෙන යා හැකි බව ප‍්‍රත්‍යක්ෂ වී ඇත. ලෝකයේ නන් රටවල්වලින් පැමිණ ඒ ගැන පර්යේෂණ පවත්වා ඒවාගේ ගුණ වෙන්කර අධික මිල ගණන් වලට විකිණිය හැකි බෙහෙත් නිපදවමින් සිටින අතර ඒවාට නැඹුරු වන ජනතාව පැරණි පුරුදු අමතක කර නවීන බෙහෙතට හුරුවීමෙන් සිදුවී ඇති විපාක ගැන යළි යළිත් මෙනෙහි කළ යුතුය තිබේ.

ගෙවත්ත ගැන අවධානය අලූත් කළ යුතුය. ආහාර වේලට ප‍්‍රයෝජනයට ගත හැකි පලා වර්ග කිහිපයක් හෝ තමන්ගේ නිවස අයට වගා කරන්නට නැඹුරු වීම සුදුසුය. හරිත වර්ණය තමන්ගේ කෑම පිඟානට වැඩිපුර එකතු කිරීම තම නිරෝගී බව වෙනුවෙන් යැයි හිතන ආකල්පය ඉතාම වැදගත්ය. ක්ෂණික ආහාර වලටත් නොගැලපෙන රසකාරකවලටත් හුරු වූ අපට එහි ප‍්‍රතිඵල වශයෙන් රට පුරා සෑම නගරයකම චැනල් සේවා ඔසු අලෙවි සැල් ව්‍යාප්තව ඇති බව වටහා ගැනීමට කාලය එළැඹ තිබේ. නිරෝගිමත් පරපුරක් වෙනුවෙන් පරිවර්තනය ආරම්භ කළ යුතු අප විසින්ම වන අතර නොයෙක් රහ දැනෙන ආහාර වලට කරන ප‍්‍රචාරක බලපෑම් පරාජය කරන්නට අදිටන් කරගැනීම අවශ්‍යය.