milinda-prashna

2017/03/22 – ලංකාදීප

දුරකථනය ජනතාවගේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව ජනගහනයටත් වඩා දුරකථන භාවිතා වන රටක් බව ප‍්‍රකාශ වෙයි. දියුණුවන සන්නිවේදන ව්‍යුහය සමග ස්මාට් දුරකථනයකින් පුරවැසියන්ට ජීවිතය පහසු කරගත හැකි බව ආර්ථික පර්යේෂකයන් පෙන්වා දී තිබේ. සමීක්ෂණ ආයතන දුරකථන භාවිතා වන ස්වභාවය ඒවායෙන් හුවමාරු වන දත්ත උපයෝගී කරගනිමින් නවතම ජීවන රටා ගොඩනගමින් සිටී. එය ව්‍යාපාරික අවස්ථාවකි. ජංගම දුරකථන භාවිතා වන තැන, වාර ගණන හා ඒවා සිදුවන රටාව අධ්‍යයනය කරන විකුණුම් පර්යේෂණ ආයතන එහි වාර්තා අනුව නිගමන නිර්දේශ කරන බව අලූත්ම තොරතුරු අතර තිබේ.

දුරකථන භාවිතා කරන්නෝ සිය දුරකථනය තැන නොතැන නොසලකා භාවිතා කරමින් සිටී. ජාත්‍යන්තර පර්යේෂණයක් අනුව භාවිතා කරන්නන් අතරින් සියයට පනහක් සිය ජංගම දුරකථනය වැසිකිලියට ද ගෙන යන බව දැක්වේ. එය ලෝකයේ සාමාන්‍ය ප‍්‍රතිශතය බව දැක්වෙන අතර ඇමරිකාවේ එකී ප‍්‍රතිශතය සියයට හැත්තෑ පහක් බව අනාවරණය වෙයි. ඉකුත් වසර දහය තුළ ජංගම දුරකථනය පැවැත්ම ආක‍්‍රමණය කර ඇත්තේ ඇබ්බැහිවීම එපමණ සංකීර්ණ බව දක්වමින්ය. ජංගම දුරකථනයෙහි ඇති කැමරාව පාවිච්චි කර පින්තූර ගැනීම තවත් ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති අතර සමහර රටවල් වල එයින් සිදුවන අනතුරු සලකා නීති පනවන්නට තීරණය කර ඇත. දුරකථනය භාවිතා කරමින් එහි ගීත වලට සවන්දෙමින් නොසැලකිල්ලෙන් මහ මග යනෙන සහ රිය පදවන නොයෙක් දෙනා අනතුරු  වලට මුහුණ පා ප‍්‍රතිශතය ද සැලකිය යුතු තරම් බව ද සඳහන් කළ යුතුය.

භාවිතා කරන්නන් ජංගම දුරථකථනයට අවනත වන්නේ ඇයි? එපමණට එය සමීප හෙයින් බව සඳහන් කළ යුතුය. පණිවුඩ හුවමාරු කරගැනීමට අමතරව ලෝකයේ දැන් සිදුවන්නේ කුමක්ද, මිතුරු සම්බන්ධතා, මග සලකුණු සොයා ගැනීමේ සිට වෙලාව බලාගැනීමට ද භාවිතා කරන්නේ ජංගම දුරකථනයයි. එහෙයින් එය අත්හරින්නට නොහැකි වී තිෙබි.

නමුත් සියළු ඇබිබැහිවීම් පාලනය කරන්නට අවශ්‍යය. ජංගම දුරකථනය මගින් තමන්ගේ කාලය ඉතිරි කරන සහ කාර්ය පහසු කරන බව පිලිගත යුතුය. නමුත් ඒ හා සමානව අනෙක් අය ගේ පැවැත්මට සිදුවන බාධා ගැන ද සලකා බලන්නට අවශ්‍යය. සාකච්ඡා, රැස්වීම් හෝ පොදු සභාවක එකතුවන විට තමන්ගේ ජංගම දුරකථනය කි‍්‍රයා විරහිත කර හෝ ඒවා නිහඩ කර තැබීමට උත්සුකවීම මැනවි. එයට හේතුව අන්‍යයන්ට සිදුවන හිරිහැරයයි. කොපමණ වැදගත් පුද්ගලයෙකුගේ වැදගත් ඇමතුමක් නමුත් එය පොදු සාකච්ඡාවක න්‍යාය පත‍්‍රයට බාධා කරන්නේ නම් ගැටළු ඇති කරයි. පැවැත්වෙන සැසියක ස්වභාවය නොසන්සුන් කරන්නට එක ජංගම දුරකථනයක නාදය ප‍්‍රමාණවත් වන අතර එය තීරණාත්මක අවස්ථාවක එළැඹිය යුතු අවධානය බිඳ දැමුවහොත් එයින් විය හැකි අවාසිය ගණන් බැලීම පහසු නැත.

කරුණු එසේ හෙයින් ජංගම දුරකථනයේ වාසිය අත් වි`දින්න. නමුත් එය බලපෑමක් කර ගැනීමෙන් වලකින්න. පවුලේ සාමාජිකයන් එකතු වී ආහාර ගන්නා කෑම මේසයේ දී ජංගම දුරකථනය නිහ`ඩ කරන්න. පවුලේ සියළු දෙනා සැහැල්ලූවෙන් කතාබහක නිරත වන විට ජංගම දුරකථනය එයට වඩා වැදගත් තැනකට පත්විය යුතු නැත. නිතර හමුවෙනොවන නෑ මිතුරන් මුණගැසෙන වේලාවක ජංගම දුරකථනයෙන් කතා කරමින් තමන්ගේ ලෝකයේ සැරිසරන එක මිතුරෙකු සියළු දෙනාගේ හැගීම් වලට නිගරු කරන බව සැලකිල්ලට ගන්න.

ජංගම දුරකථනය ජීවිතය පහසු කර තිබේ. එය කාලය ඉතිරි කර ඇත. ලෝක ප‍්‍රජාව අතර තිබුණ පරතරය අවම කරන අතර සිදුවන දේ වටහා ගන්නට ඉඩ කඩ විවෘත කරයි. නමුත් එයට ඇබ්බැහිවීමෙන් සිදුවන යහපතට වඩා අයහපත නරක එකක් බව අවධානයට ගත යුතුය.