milinda-prashna

2017/03/15 – ලංකාදීප

මාර්ග අනතුරු දිනෙන් දින වැඩි වෙමින් තිබේ. මහ මග අනාරක්ෂිත බව  කොපමණ දැයි එයින් අඟවයි. අපරාධ වැඩි වන බව වාර්තා පෙන්වයි. දිනපතාම පාහේ මනුෂ්‍ය ඝාතන වාර්තාවන තත්ත්වයක් පවතී. මාර්ග අනතුරු වලින් හා අපරාධ නිසා රටට අහිමි වන ජීවිත ප‍්‍රමාණය සැලකිය යුතු තරමකින් වැඩි වී තිබේ. අසාමාන්‍ය මට්ටමකින් අනතුරු හා අපරාධ සිදුවන විට එයට හේතු සොයා බලා විසදුම් සකස් කිරීම  සුදුසුය.

කාර්ය බහුල සමාජය තම ගමන ගැන අවධානය යොමු කරන නමුත් ආරක්ෂාව ගැන හිතන්නේ නැති බව නිරීක්ෂණය කළ හැකිය. ඉක්මන් ගමන ගැන විනා ජීවිතයෙහි වටිනාකම සම්බන්ධයෙන් නොසලකන තත්ත්වයක් ඇතිවූයේ කෙසේද? විශේෂ අවධානය යොමු කළ යුතු කරුණකි.

තමන්ටම වාහනයක් අයිති කරගැනීම සියළු දෙනාගේ උත්සාහයයි. අඩු තරමින් ත‍්‍රිරෝද රථයක් හෝ යතුරු පැදියක් මිලදී ගන්නටය. එය නරක අදහසක් නොවේ. නමුත් කෙටි ගමන් බිමන් වලට පමණක් සෑහෙන මෙම සරල වාහන පවුලේ සියළු දෙනාම ගමන් බිමන් යන තත්ත්වයට පත් කරගැනීම ඉතා අනතුරුදායක බව සඳහන් කළ යුතුය. කුඩා යතුරු පැදියක තමන්ගේ දරුවන් සමග අමතර පංතියකට යන මවක් ඉටු කරන්නේ යම් වගකීමක් බව තේරුම් ගත හැකිය. මව, පියා සහ දරුවන් සහිතව යතුරු පැදියක් පවුලේ වාහනයක් සේ සලකා යතුරු පැදියෙන් ගමන්කරනු පෙනේ. කුඩා දරුවන් සමග සියළු බඩුබාහිරාදිය පටවා ගෙන ගමනක් යන ත‍්‍රී රෝද රථයක් දකින විට එහි ගමන් කරන්නේ තවත් යුතුකමක් වෙනුවෙන් බව හිතාගන්නට බැරි නැත. නමුත් මෙම සියළුම දෙනාගේ ගමන අනතුරුදායකය. පරෙස්සමක් නැත. යතුරු පැදිය හෝ ත‍්‍රී විලර් එක තම පවුලේ වාහන නොවේ. මහා මාර්ගයේ ධාවනය වන වාහන අතර ඒවාට ඉඩක් නැත. නමුත් සාමාන්‍ය ජනතාවට විකල්පයක් නැත. මහා මාර්ගයේ දී අති විශාල බරක් පටවාගෙන යන කන්ටේනර් රථයකට හෝ සෙනග පුරවා ගත් බස් රියකට හෝ නීතිය එකය. ත‍්‍රීවිලර් සහ යතුරු පැදි මාර්ගයේ ධාවනය කෙරෙන්නේ ද එම නීති අනුගමනය කරමින්ය. රෝද හතරක වාහනයකට ඇති හැසිරවීමේ හැකියාව රෝද තුනකට හෝ දෙකකට නැත. අනතුරකට හේතුවිය හැකිය. අධික තදබදය මැද යතුරුපැදියක්, ත‍්‍රීවිලර් එකක් වෙනුවෙන් කුඩා ඉඩක් දෙන්නට අනෙක් වාහන පදවන්නන් සූදානම්ද?

සවුදි ආරාබියේ අධිවේගී මාර්ග වල ගමන් කරන වාහන හදිසියේ නතර වෙන අවස්ථා තිබේ. එයට හේතුව සොයන බලන විට නිවී සැනසිල්ලේ පාර මාරුවෙන ඔටු ගැල් පන්තියකට ඉඩ දීම සඳහාය. අධිවේගී මාර්ගයක නවීන වාහන, ඔටුවන් පාර මාරුවන තුරු නතරවීම කලබලයකට හේතු වෙන්නේ නැත. මෙරට මහ පාරක කරත්තයක් ගමන් කළහොත් ඇතිවන තත්ත්වය කෙබදුද? වාහනයක් පාර මැද නතරවුවහොත් ඇතිවන කලබැගෑනිය විශාල එකකි. මේවායෙන් පෙන්වන්නෙ සමාජය දියුණු නමුත් පරිනත නැති බවය. දුබලයා වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්නට ප‍්‍රබලයා සමත් නැති බවය. සියළු සාමාන්‍ය වාහන අභිබවා ඉදිරියට යන්නට බලවතා උත්සාහ කරයි. එහි අවසානය කුමක්ද?

මැදි ආදායම් රටක් බවට පත්වන විට රට පුරා ධාවනය වන වාහන ප‍්‍රමාණය ඉහළ යයි. එයට ප‍්‍රමාණවත් මාර්ග පහසුකම් වැඩි දියුණු නොවන විට තදබදය ඇතිවේ. එහි පීඩනයෙන් ඉවසිල්ල සහ විනය බිඳ වැටේ. දරුණු අනතුරු වලට හේතුව නිසි සැලකිල්ලක් නැති ධාවනය කිරීමයි. යතුරු පැදි සහ ත‍්‍රී විලර් වලින් අනතුරු සිදුවන ප‍්‍රවනතාව තවත් ඉහළ මට්ටමක බව සඳහන් කළ හැකිය.

අඹු දරුවන් සමග යතුරු පැදියක හෝ ත‍්‍රීවිලර් එකක ගමන් කරන පුරවැසියන් අවදානම ගැන අවබෝධයක සිටිය යුතුය. සෙසු වාහන පදවන රියැදුරන් කුඩා වාහන වලට ඉඩ දෙන, ඒවායේ ගමන්කරන ජීවිත වල ආරක්ෂාව ගැන හිතන පිරිසක් බවට පත් කිරීම අවශ්‍යය. නීති සම්පාදනය වැදගත් නැත. රට දියුණු වන විට ජන සමාජය අලූතින් හිතන බුද්ධිමත් කොට්ඨාශයක් බවට පත්වන්නේ නම් සුදුසුය.