milinda-prashna

2017/03/08 – ලංකාදීප

මාධ්‍ය භාවිතාව තුළ අසත්‍ය, අදෘෂමාන ප‍්‍රවෘත්ති යනුවෙන් පැතිකඩක් සාකච්ඡුාවට ලක්ව තිබේ. මූලාශ‍්‍ර විකල්ප යනුවෙන් ව්‍යුහයක් ද සකස් වී ඇත. මෑත කාලයේ දී ජන සන්නිවේදනයෙහි විකාශය උපරිම ව්‍යුහයක් කරා ළඟා වන විට ජනතාව හා මාධ්‍ය අතර සංකීර්ණ තත්ත්වයක් මතුව ඇති බව දක්වන්නට මෙකී කරුණු දෙක මතු කර දැක්විය හැකිය.

පරිහරණය කරන්නා කෙරෙහි සැලකිල්ල යොමු කිරීම වගකිව යුතු මාධ්‍යයක මූලික කාර්ය භාරයයි. ජනතාව දැනුවත් කරන අතර නිවැරදි දේ සන්නිවේදනය කරන බවට විශ්වාසය තහවරු කරගැනීම වැදගත්ය. ඇතැම් අවස්ථාවල මාධ්‍යල අසත්‍ය තොරතුරු උවමනාවෙන්ම දක්වන්නේ නම් එහි අරමුණ කුමක්ද? මෑතක දී අවසන් වූ ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඉතාම බහුලව සංවිධාවාත්මකව අසත්‍ය තොරතුරු පළ වූ බව අනාවරණය වෙයි. එය අද වන විට ජාත්‍යන්තරයේ තියුණු සංවාදයට ලක්ව තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණයේ දී හිලරි ක්ලින්ටන්ට අදාල පුවතක් එක්තරා වෙබ් අඩවියක පළවිය. වොෂින්ටන් නගරයේ අවන්හලක ළමා අපචාර සිදුවන අතර එහි බාල දරුවන් රඳවා ඇති බව එහි හෙළිදරව් කළේ හිලරි ක්ලින්ටන් එයට වගකිව යුතු බව දක්වන අයුරින්ය. මෙම පුවතින් තැති ගත් උතුරු කැරොලිනාවේ විසි අට හැවිරිදි තරුණයෙකු ගිනි අවියක් ද රැගෙන අවන්හලට කඩා වැදුණු අතර ඔහු මෙම පුවත කොපමණ දුරට විශ්වාස කළා ද යත් තමන්ම මෙම බාල දරුවන් ගලවා ගත යුතු යැයි තීරණයකට එළැඹ සිටියේය. පොලිසිය වහාම ගිනි අවිය සහිතව අවන්හල දෙවනත් කළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. නැතිනම් ඔහු අතින් නිරපරාදේ ජීවිත කිහිපයක් අනතුරකට ලක්වන්නට ඉඩ තිබුණ අතර ඔහු මෙම  ප‍්‍රවෘත්තිය අසත්‍යයක් බව තේරුම් ගත්තේ අවසානයේ දී ය.

මෙවැනි ‘‘ අතේ රෝල් ’’ ප‍්‍රවෘත්ති පළ කිරීම නරක බව දුරාතීතයේ සිට පැවැති පිලිගැනීමයි. නමුත් අද එය සාමාන්‍යකරණය වී තිබේ.විකල්ප ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර ගැන පවතින විවාදය අනෙක් කාරණයයි. එය ද සාකච්ඡුා කරන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ දිවුරුම් දීමේ නිල උත්සවය පදනම් කරගෙනය. මෙම අවස්ථාවට හිතූ තරම් ජනකායක් නොපැමිණි බව මාධ්‍ය වාර්තා කරන ලද නමුත් නව ජනාධිපතිවරයාගේ පාර්ශවයේ ප‍්‍රධානීහු තර්ක කළේ මාධ්‍යවේදීන් හිතාමතාම සෙනග අඩු පැත්තකින් අවස්ථාව ආවරණය කළ කෝණයක එකක් බවය. නැත්නම් විශාල පිරිසක් සිටි බව ඔවුහු දක්වන්නේ බැරක් ඔබාමා හිටපු ජනාධිපතිවරයාගේ දිවුරුම් දෙන නිල අවස්ථාවේ ඡුායාරූප ගත් කෝණ සන්සන්දනය කරමින්ය. උවමනාවෙන්ම ඇත්ත නොපෙන්වා සිටීමට තැත් කරන මෙම පින්තූර වාර්තාකරණය වැරදි බව පෙන්වන්නේ විකල්ප මූලාශ‍්‍ර පෙන්වමින්ය.

අතේ රෝල් සහ ඇත්ත වසං කරන තොරතුරු පළකිරීම වැදගත් මාධ්‍ය මගින් අපේක්ෂා කරන දෙයක් නොවේ. නමුත් පවතින පක්ෂග‍්‍රාහී ස්වභාවය හෝ මාධ්‍ය භාවිතාව තුළ ඇති විශේෂිත අරමුණු හෙයින් එය එසේ සිදුවී තිබේ. එක පැත්තකින් ගවේශනශීලී මාධ්‍ය භාවිතාව ගැන විශාල අවධානයක් පවතින වකවානුවක අනෙක් පැත්තෙන් එයට හාත්පසින්ම විරුද්ධ දේ මාධ්‍ය මගින් ඉටුවෙයි. එය නවීන කෘත්‍යයක් සේ අනාවරණයවීම වත්මන් දියුණු සන්නිවේදන ප‍්‍රවාහයේ බලවත් අර්බුදයකි.

මෙරට මාධ්‍ය ආයතන තුළ සේවය කරන හසල අත්දැකීම් ඇති විද්වතුන් සහ විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් අතර මෙකී ප‍්‍රවනතාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය ගැන විශාල සාකච්ඡාවක් සිදුවිය යුතුය. මාධ්‍යයේ ආරම්භය, එය ජන සමාජයේ තහවුරුවීම පමණක් නොව මෙහි විකාශනය තුළ සමාජය පත්ව ඇති අපහසුතාවය විද්‍යාත්මකව තේරුම් කිරීම වැදගත්ය. මාධ්‍යයක පළවන තොරතුරු ඉතාම මැනැවින් පිරික්සා බලා ඇත්ත බව තහවුරු කරගැනීමෙන් පසු ජනතාව අතට පත්කරන බවට ඇති විශ්වාසය පලූදුවීම තරම් මාධ්‍ය කර්මාන්තයට බාධා කරන අනෙක් කාරණයක් කිසිසේත් තිබිය නොහැකිය.