milinda-prashna

2017/03/01 – ලංකාදීප

පාරක් හැදෙන්නේ පැති දෙකක් යා කරමින්ය. පැති දෙක වෙනස් අනන්‍යතා සහ සංස්කෘතික ලක්ෂණ සහිතය. පාරේ යන එන ගමන් බිමන් වල දී අදහස් එකතු වෙයි. අවබෝධතාවය ඇතිවෙයි. එය අලූත් යුගයකට මාවත විවර කරයි. පාරක් හැදෙන්නේ අවශ්‍යතා ඉටු කරගන්නටය. අඩි පාර කළ එළි වී, අබල දුබල තැන් හැදෙන විට පාර කොපමණ අවශ්‍යතාවයක් ද යන්න පැහැදිලිව හදුනාගත හැකිය. අවශ්‍යතා වැඩි වී ප‍්‍රයෝජන ගැනීමට තව තවත් හේතු ඇතිවන විට එය මහ පාරක් බවට පත්වෙයි. ගම මැදින් පාරක් හැදෙන්නේ විශාල කළ එළියක් ඇති කරමින්ය.

සංවර්ධන ගමනේ ඉදිරියට යන අද දවසේ දී  මහ පාර අයිති කාටදැයි ප‍්‍රශ්නයක් මතු වී තිබේ. ධනය හා බලය ඇති පිරිස මහ පාර අයිතිකරගෙන ඇත. බලහත්කාරයට එහි තැනක් ලැබී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. සාමාන්‍ය පදික ජනතාව මහ පාරෙන් ඉවතට තල්ලූ වී තිබේ. පැති දෙකක් යා කරමින්, අලූත් අදහස් එකතු කරන අතරවාරයේ නව යුගයකට ජනතාව යොමු කරනු ඇතැයි අපේක්ෂා කළ මහ පාර අද ගැටුම් බහුල තැනකි. එහි ඇති අවස්ථාවාදී ප‍්‍රයත්න සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කර ඇත. ජන ජීවිතය අර්බුදයකට පත්ව ඇති බව මහපාරේ අද පවතින ස්වභාවය කදිම සාක්ෂියක් සපයයි.

යාන වාහන මහ පාර අයිති කරගෙන තිබේ. මහ මග ඇවිද ගෙන යන පදිකයා, පා පැදිය හෝ යතුරු පැදිය පදවන්නාට එහි ඉඩ කඩ නැත. සුපිරි වාහන තැත් කරන්නේ අහිංසකයන් පැත්තකට කර ගමන යන්නටය. ලොකු බස් රථ මහ මග ධාවනය කරන කුඩා තී‍්‍ර විලර් එකකට ඉඩදෙන්නට සූදානම් නැති අතර සැර දමා ශබ්ධ නගා නලා නාද කර පැත්තකට කිරීම සාමාන්‍ය දෙයකි. කුඩා වාහන මහ පාර සම්පූර්ණයෙන්ම තමන්ගේ එකක් සේ සලකා හැසිරෙන විට වෙන කරන්නට දෙයක් නැති බව ලොකු වාහන ධාවනය කරන රියැදුරන්ගේ අදහසයි. තැන නොතැන නොබලා පාර පනින විට සහ කහ ඉර නොසැලකිලිමත්ව පරිහරණය කරන විට තම ඉවසීම බිඳ වැටෙන බව ඔවුහු සඳහන් කරති.

මෑතක සිට මහ පාර විරෝධතා දක්වන තැනකි. සාකච්ඡුාවෙන් විසඳාගත නොහැකි ගැටළු මහ පාරට ගෙනැවිත් තිබේ. වෘත්තීය අරගලය පාරට ගෙන එන විරෝධතාකරුවෝ පාර අවහිර වන සේ ගමන් කරමින් සාමාන්‍ය ජනතාව ගේ එදිනෙදා පැවැත්ම අවහිර කරති. පාර ජනාකීර්ණ වන දවල් දොලහට පාසල අවසන් වෙන වේලාවේ සහ කාර්යාල අවසන් වන හැන්දෑවේ විරෝධතාවය සහ දේශපාලනය මහ පාරට ගෙන එන විට තැලෙන්නේ දරුවන්ය. කාර්යාලය අවසන් කර ඉක්මනින් ගෙදර යන්නට බලා ඉන්නා විඩා පත් ජන කොටස්ය. මෙම සිදුවීම් වල  අවසානය කුමක්ද අලූත් සංස්කෘතියක් හැදිය යුතු වූ නමුත් මහ පාර බලවත් කෝලාහලයක් හදා තිබේ.  රටට එයින් යහපතක් සිදුවී තිබේද?

මහ පාර ඉවසිලිවන්ත තැනක් කරන්නේ කොහොම ද යන ප‍්‍රශ්නය සාකච්ඡුා කළ යුතුව තිබේ. සන්සුන් බව එහි ඇතිකරන්නේ කෙසේදැයි විමසා බැලීම වටී. දහස් සංඛ්‍යාත පිරිසක් පාරට බහින්නේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන ආපසු නිවසට යන බලාපොරොත්තු ඇතිවය. සාක්ෂාත් කරගත යුතු ඉලක්ක සහිතවය. මහපාරේ ඇති බලහත්කාරය, ඝෝෂාව හා අවනීතිය ජන ජීවිතය අසරණ කර තිබේ නම් දියුණු වන රටක් වශයෙන් ලස්සන මං මාවත් තනන්නට මහජන මුදල් වෙන්කිරීමෙන් ලැබෙන කිසිදු ප‍්‍රතිඵලයක් නැත.

මහා මාර්ගය පරිහරණය කරන සියළු දෙනා එහි ඇති වටිනාකම හා තිබිය යුතු ගෞරවය ගැන අලූතෙන් සිතන්නට අවශ්‍යය. අනෙක් පුද්ගලයාගේ අයිතිවය බාධාවක් වන සේ මහා මාර්ගය හරස් කිරීම අසාධාරණ  බව හිතන්නට අවශ්‍යය. කුඩා පටු මාර්ගයක්ව පැවැති ගමන් බිමන් යන එන මාවත අඩි තිහ හතලිහක් පුලූල් වී අධිවේගී එකක් වෙන විට මතුවන සංකීර්ණත්වය  ගැන සැනසිල්ලේ හිතන්නට සුදුසු හෝරාව එළැඹ තිබේ.