milinda-prashna

2017/02/22 – ලංකාදීප

හාල් මිල පොදු ජනතාව අපහසුතාවයට පත් කරන ප‍්‍රශ්නයන් බවට පත්ව තිබේ. සාමාන්‍ය මිලට වඩා වැඩි සහ එදිනෙදා වෙළඳ පොලෙන් මිල දී ගන්නා සහල් විශේෂයට බලපාන මිල සහ ඒවා හිඟ වෙන විට අතෘප්තියට පත්වීම වැලැක්විය නොහැකිය. බත මෙරට ජනතාවගේ ප‍්‍රධාන ආහාරයයි. අද වන විට මිලියන විසි එකක ජනගහනයක් හාල් මිල හමුවේ කිසියම් හෝ ගැටළුවකය. ආනයනය හා මිල පාලනය සඳහා ආණ්ඩුව පියවර ගනිමින් සිටී. තීරණය කුමක් නමුත් එය වෙළඳ පොලට නොගැලපෙන එකක් වුවහොත්  එය ප‍්‍රතික්ෂේප වන බව සඳහන් කිරීම අවශ්‍යය.

හාල් මිල ගැන හදිසි තත්ත්වයට හේතුව කාලගුණ වෙනස්කම් හේතුවෙන් වගාව පිරිහීමය. ගොවියන් ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රමාණයකගේ වගාව කරගෙන යා නොහැකි වන විට නිෂ්පාදනය වන සහල් ආහාර සඳහා ප‍්‍රමාණවත් නොවන තත්ත්වයට පත්වෙයි. වී වගාව ගොවි ජනතාවගේ සම්ප‍්‍රදායික කාර්යයකි. පුරවැසියන් සමග එහි විශාල සංස්කෘතික බැඳීමක් තිබේ. නමුත් සහල් වෙළඳ පොල මිල නියම කරන්නේ ව්‍යාපාරිකයන්ය. හාල් සැපයුම පහල වැටී හිඟ බව දැනෙන විට මිල වැඩිවන අතර එය ඉල්ලූම ඉහළ යන කාරණයකි. මෙය තාවකාලිකය. ඉදිරි කන්නයේ කෙත්වතු සාර වී නිසි අස්වනු ලැබුණහොත් අද පවතින ප‍්‍රශ්න නිරාකරණය වනු ඇත.

සහල් කූපන් පොත සහ පාන් කාඞ් වැඩිහිටි ජනතාවගේ මතකයේ ඇත. මිල පාලනය කර පවතින තොග සාධාරණව බෙදා දෙනු සඳහා 1970 ආණ්ඩුව හාල් කූපන් පොත නිකුත් කළේය. අතිරේක ආහාර වශයෙන් සෑම පවුලකටම පාන් මිල දී ගන්නට කාඞ් එකක් ආණ්ඩුව සැපයීය. පවතින තොග සාධාරණව සාමාන්‍ය මිලකට සියළු දෙනාට බෙදන්නට කාඞ් වලින් අරමුණු කරන ලද නමුත් එය නැති ප‍්‍රශ්න ඇති කරන ලද අතර එවකට පැවැති ආණ්ඩුව පරාජය කරන්නට ද වෙළඳ පොල පාලන ප‍්‍රතිපත්තිය එක හේතුවක් විය. අතීත අත්දැකීම් අනුව තීරණගන්නේ නම් සහල් වෙළඳ පොල තුළ මතුවී ඇති තත්ත්වය පාලනය කර ගැනීමට වෙළඳ පොලට ඉඩ දීම සුදුසුය.

එසේ සඳහන් කරන්නේ ඇයි? වෙළඳ පොල පවතින තරගකාරී කාර්යක්ෂම ස්වභාවයට ගැලපෙන පරිදි හැසිරෙන්නට ආණ්ඩුවේ ආයතන අසමත්ය. මෙරට වී නිෂ්පාදනයෙන් සියයකට දහයකට වඩා මිල දී ගන්නට රජයේ යාන්ත‍්‍රණයට හැකියාවක් නැත. මිලට ගන්නා වී ගබඩාකර කලට වේලාවට වෙළඳ පොලට නිකුත් කරන තීරණ ගන්නට තරම් විවෘත බවක් රජයේ නිලධාරීන්ට නැත. අති විශාල මුදලක් අවශ්‍ය වන අතර බැංකුවලින් මුදල් ගෙන ඒවාට පොලිය ගෙවමින් සහ තොග නිසි පරිදි නඩත්තු කරන කාර්යයෙහි නිරත වන කැපවීම රජයේ නිලධාරීන්ට කරන්නට හැකියාවක් නැත. විශේෂයෙන් රජයේ යාන්ත‍්‍රණයේ පවතින නීති රීති සහ චක‍්‍රලේඛන එයට බාධා කරයි. පුද්ගලික අංශයේ නිලධාරියෙකු ගොවිපොලේ දී ගොවියා හමුවී තීන්දුගෙන ක්ෂණිකව මිල දී ගන්නා අතර ඒවා ප‍්‍රවාහනය, ගබඩාකිරීම, සහල් කිරීමට තීරණය කිරීම හා වෙළªන්ට විකණන්නේ ඉහළ නිලධාරීයාගේ අනුමැතිය බලාගෙන නොව නිසි වේලාවටය. එවැනි නම්‍යශීලීබවක් නැති ආණ්ඩුවේ ආයතන වල වී තොග ගොඩගැසේ, සහල් කරන විට සතුන් හානි කර තිබේ. සහල් කරන අනුමැතිය ගැනීම පමාවුවහොත් පාඩු සිදුවෙයි. පසුගිය කාලයේ දී රාජ්‍ය ආයතන වී සහ සහල් ගනුදෙනු වලදී වාර්තා කරන  ලද අලාභ සලකා බැලූවහොත් මෙම තොරතුර ඇත්ත බව පැහැදිලි වනු ඇත.

සහල් මිල වැඩි වූ පමණනින් සීමාවකින් තොරව ආනයකයට ඉඩ දීම ද වරදකි. ආනයන ප‍්‍රශ්න ඇතිකරන්නේ ඉදිරි කන්නෙයේ අස්වැන්නටය. ලෝකයේ වෙනත් රටවල් ආහාර මිල ස්ථාවරව තබනු සඳහා ඉදිරි ගිවිසුම් අත්සන් කරයි. ප‍්‍රතිපත්ති හදන්නේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ගැන පමණක් නොව ව්‍යාපාරිකයා ද අවධානයට ගෙන බව සඳහන් කළ යුතුය. සහල් වෙළඳාම මාෆියාවක් බව දක්වමින් මත ඇතිකරනු වෙනුවට තෝරා ගත් ව්‍යාපාරික කණ්ඩායමකට සාධාරණ අවස්ථා සම්පාදනය කළ යුතුය. වී මිල දී ගෙන සහල් තොග පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම වෙළදුන් නියාමනය කිරීමට සුදුසු කාලය පැමිණ තිබේ. රජයේ මැදිහත්වීම අවම කළ යුතු අතර වෙළඳ පොල තරගය ඇති කිරීම අවශ්‍යය.