milinda-prashna

2017/02/15 -ලංකාදීප

ඩෙංගු රෝගී ස්වභාවය රට පුරා තදින් පැතිරෙන බවට තොරතුරු මාධ්‍ය වලින් වාර්තා වෙයි. රෝගී තත්ත්වය උත්සන්න වී ඛේදජනක ලෙස ජීවිතයෙන් සමුගත් සිද්ධි ද ඒ අතර සැලකිය යුතු තරම් බව නිරීක්ෂණය කළ හැකිය. වෛද්‍ය විද්‍යාත්මක ස්ථිර පූර්ව ප‍්‍රතිකාරයක් තවමත් සොයාගෙන නැත. ඩෙංගු පතුරවන මදුරුවා ගේ දෂ්ට කිරීමට ලක් නොවීම විසදුමක් වන අතර ඒ සඳහා හැකිතාක් පියවර ගත යුතු බව උපදේශය වී තිබේ. ඩෙංගු රෝගය බරපතල ප‍්‍රශ්නයක් වන විට එය පාලනය කරනු සඳහා ජාතික මට්ටමින් අවධානය යොමු වෙයි. රෝගයෙන් වැලකෙන පමණක් නොව මදුරුවන් මර්දනය ද ජනතාව සතු වගකීමක් බවට පත්ව තිබේ.

ජනතාව තුළ ඩෙංගු උවදුර භයානක එකක් බවට භීතියක් ඇති කර තිබේ. මදුරුවා මර්දනය කිරීමෙන් රෝගය පාලනය කරගත හැකිවන අතර මදුරුවන් බෝ වන පරිශ‍්‍ර පවත්වාගෙන යන පොදු ජනතාව වරදකරුවන් කර අධිකරණයට කැදවන හේතුවෙන් ඩෙංගු වලට අමතර තවත් බියක් සමාජයේ පැතිර යමින් තිබේ. ඩෙංගු උවදුරට වගකිව යුතු කවුද යන ප‍්‍රශ්නය සාකච්ඡා කිරීම මේ අනුව ඉතාමත් වැදගත්ය.

ඩෙංගු මදුරුවන් පිරිසිදු ජලයේ බෝ වෙන බව දැක්වෙයි. දීර්ඝ පෑවිල්ලකට පසු වැටෙන වැස්සෙන් පවා මදුරු බිත්තර පුපුරා කීටයන් හටගන්නා බව පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. ගෙවත්ත පිරිසිදු නමුත් අසල්වැසි නිදහස් තැනක මදුරුවන් බෝ වෙන පරිසරයක් ඇත. ජන සමාජය පමණක් නොව ආණ්ඩුව හා පලාත් පාලන ආයතන ද පරිසරය පිරිසිදුව තබාගැනීම හා මදුරු මර්දනය ගැන අවධානය යොමු කළ යුතුය. දඩ නියම කිරීම සාධාරණ ඩෙංගු මර්දන පියවරක් නොවේ.

මෙරට භූමි ප‍්‍රමාණයෙන් සියයට අසූ දෙකක් ආණ්ඩුවට අයත්ය. වනාන්තර හා මිනිස් වාසයෙන් තොර ප‍්‍රදේශ අත්හැර දැමීමෙන් පසු පවා පරිශ‍්‍ර වලින් වැඩි කොටසක් ආණ්ඩුවේ පාලනය යටතේ පවතින බව පෙනේ. පොදු පහසුකම් නැංවීම සඳහා ජනතාවගෙන් බදු අය කරන පලාත් පාලන ආයතන වලට තමන්ගේ බල ප‍්‍රදේශය රැක බලා ගැනීමේ වගකීමක් තිබේ. පලාත් සභා සහ ආණ්ඩුව අතර ඩෙංගු මර්දනය ගැන පරිශ‍්‍රමයක් අවශ්‍යය. ජන සමාජය සහ ස්වේච්ඡා සංවිධාන ද එයට සම්බන්ධ විය යුතුය. මැලේරියාව සාර්ථකව මර්දනය කිරීමට සමත්වීම හෙයින් නොබෝදා රටට අන්තර් ජාතික කීර්තියක් අත්පත් විය. නමුත් නැවතත් අලූත් මදුරු විශේෂයක් මගින් මැලේරියාව හිස ඔසවන බව ද කියැවෙයි. මැලේරියාව මර්දනය වාමාංශික දේශපාලනය රටේ තහවුරු කරන්නට හේතු වූ අතර එය ජාතික නායකයන්ගේ ක‍්‍රියාකාරීත්වය පරම්පරාවක් මතකයේ තබන කාර්යයක් වූ බව සඳහන් කළ යුතුය.

ඩෙංගු මර්දනය කිරීම ජනතාවට, ජනතා සංවිධාන වලට හෝ ආණ්ඩුවට පමණක් කළ හැකි කාර්යයක් නොවේ. මැලේරියාව මර්දනය කරන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය සෘජුව මැදිහත්ව වැඩ පිලිවෙලක් ආරම්භ කරන ලද අතර බිල් ගේට් පදනම ඇතුළු සංවිධාන විශාල ධනයක් යෙදවීය. ඩෙංගු මදුරුවා බලවත් රටවලට තර්ජනයක් වී නැත. රෝග ගැන පර්යේෂණ කරන්නේ බලවත් රටවල්ය. නව ඖෂධ වෙනුවෙන් ධනය යොදවන වෛද්‍ය පර්යේෂකයන් සිටින දියුණු රටවල් සහ සංවිධාන තමන්ට තර්ජනයක් වන තෙක් ඩෙංගු මර්දනය ගැන අවධානය යොමු කරන්නේ නැත. ශී‍්‍ර ලංකාවට ඩෙංගු මදුරුවා පාලනය කරන හෝ රෝගීන් සඳහා ස්ථිර ප‍්‍රතිකාර වෙනුවෙන් පර්යේෂණ කරන්නට වත්කමක් නැත. රටට ප‍්‍රශ්නයක් වී ඇති ඩෙංගු ගැන ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ අවධානය යොමු කරන්නට අවශ්‍යය.

සාමාන්‍ය ජනතාවගේ ගෙවත්තේ මදුරු පරිශ‍්‍රයක් තිබූ පමණින් දඩ පමුණුවන, සහ මහජනතාවගේ නොසැලකිල්ල බව දක්වා අධිකරණයෙහි නඩු පැවරීමට කලින් මෙම අර්බුදයේ සියළු පැති සලකා විධිමත් පියවරකට යා යුතුව තිබේ. ජනතාව මදුරුවන් බෝවීම වැලැක්වීමට පියවර ගත යුතුය. පලාත් පාලන ආයතනසහ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් තම බල ප‍්‍රදේශ ගැන අවධානය යොමු කර පැතිරීම වැලැක්වීම වැදගත්ය. රෝගය පැතිරීම හා ඖෂධ ගැන ජාත්‍යන්තර අවධානය ඇතිකිරීම ජාතික මට්ටමින් කළ යුතු දෙයකි.