milinda-prashna

2017/01/18 – ලංකාදීප

වසර හතලිහකට මෙපිට ඇති නොවූ තරම් බලවත් නියඟයකට මුහුණ දෙන්නට රටට සිදුවී ඇති බව අනාවරණය වන කරුණකි. ඉතිහාසය පිරික්සන විට වලගම්බාහු රජ දවස ඉතා දරුණු නියඟයක් ගැන සඳහන් වෙයි. බැමිණිටියාසාය යනුවෙන් දැක්වෙන මෙම කාලයෙහි සංඝරත්නයට දානය නොලැබෙන තරමට එය ව්‍යවසනයක් වූ බව කියැවෙයි.

ශ‍්‍රී ලංකාවේ බලපැවැත්විය හැකි බව කාලගුණ තොරතුරු හෙළි කරන නියඟය හමුවේ ගත යුතු මග වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කර තිබේ. රට වැසියන් පත්විය හැකි දුෂ්කර තත්ත්වය සලකා බලන විට සියළු බේධ අත් හැර රාජ්‍ය සහ පුද්ගලික යන සියළු අංශ එකතු වී නියඟය පරාජය කරන සැලැස්මක් සකස් කළ යුතු බව අවිවාදිතය.

තාක්ෂණය, සන්නිවේදනය සහ සම්පත් උපයෝගීතාවය යන අංශ වර්තමානයෙහි ඉතා ඉහළ මටට්මක තිබේ. එයට අනුව,  ඕනෑම දුෂ්කර ස්වභාවයකට සාර්ථක උත්තරයක් සොයා ගත හැකිය. විසඳුම පහසු නැති නමුත් සාමූහික ප‍්‍රයත්නය, පවතින ප‍්‍රවනතා නිසි සැලැස්ම සහ ආත්ම ශක්තිය නියඟය ජයගත හැකි එකක් කරනු ඇත.

ජලය, ආහාර සහ බලශක්තිය ජනතාවට පීඩනය ඇති කරන ක්ෂේත‍්‍ර අතර මුල් තැනට පත් වන බව පෙනේ. නල ජලය මාස දෙකකට සහ ජල විදුලිය උත්පාදනය සියයට දොලහකට සීමාවන බව අඟවා තිබේ. ආහාර ඉදිරි දිනවලට ප‍්‍රමාණවත්වන නමුත් නියඟයෙන් පසු කාලයක් යන තුරු එහි පීඩනය බලපවත්වනු ඇතැයි සැලකේ. නියඟය හමුවේ සෑම අතින්ම අපහසුතාවයට පත්වන්නට ඉඩ ඇත්තේ අඩු ආදායම් ලබන ජන කොටසය. කණගාටුදායක පැත්ත එයයි.

ජාත්‍යන්තර තාක්ෂණය අනුව මුහුදු වතුර පානීය ජලයට හැරවිය හැකිය. බලශක්තිය  නිපදවන්නට  සූර්යතාපය ප‍්‍රයෝජනයට ගත හැකිය. මෙම පැති දෙක අතර සංකලනයකින් කෘෂි අංශයට ප‍්‍රයෝජන ගත හොත් ඉක්මන් ආහාර නිෂ්පාදන වැඩ පිලිවෙලකට ද යන්නට හැකියාවක් ඇත. නියඟය කළමණාකරනයේ දී එවැනි අලූත් දේ ගැන සියුම් අවධානය යොමු කළ යුතුය. අර්බුදය හමුවේ සම්ප‍්‍රදායිකව ක‍්‍රියා කිරීම වෙනුවට පරිවර්තනයකට මග පාදා ගැනීම වැදගත්ය. දේශපාලන බේධ පැත්තකින් තබා හැම දෙනාගේම අවංක අදහස් වලින් ප‍්‍රයෝජන ගතහොත් නියඟය රටක වාසියක් සේ හරවාගත හැකිය.

ලෝක කාලගුණ ප‍්‍රවනතා අනුව ඉදිරි කාලයේ දී පවා උෂ්ණත්වය වැඩි, පිරිසිදු ජල පහසුව ගැටළු විය හැකි බව ප‍්‍රකට කරුණකි. දැනටමත් ලෝකයේ මිලියන සංඛ්‍යාත ජනගහනයක් එයින් දුෂ්කරතා වලට පත්ව සිටී. ශී‍්‍ර ලංකාව වාසනාවන්ත පිරිසරික සාධක ඇති තැනක සිට වියළි පරිසරයකට හැරෙන බව පෙනෙන විට පවතිනතත්ත්වයට ඉක්මන් විසඳුම් පමණක් නොව ඉදිරියේ දී එළැඹිය හැකි තත්ත්වයට ද ගැලපෙන දීර්ඝ සැලසුම් වලට ගමන් කළ යුතුව තිබේ.

සූර්යතාප බලශක්තිය කෙරෙහි ජන සහභාගීත්වය වැඩි කරන්නට අවශ්‍යය. සෑම නිවසක්ම සූර්ය බලයෙන් ප‍්‍රයෝජන ගන්නා තැනක් බවට පත්කරන්නට නම් ජනතාව දිරිගන්වන සහන වහා ප‍්‍රකාශ්‍යට පත්කළ යුතුය. තෝරාගත් පලාත්වල විශේෂයෙන් උතුර, නැහෙනහිර ඇතුළු කලාපවල මුහුදු ජලය නිස්සාරණය කර ප‍්‍රයෝජනයට ගැනීමට පෙළඹවීම අවශ්‍යය. භාවිතයෙන් ඉවත් කරන නැව් වල යන්ත්‍රෝපකරණ සවිකර එයින් පිරිසිදු කරන ජලය ගොඩබිමට පොම්ප කරන තරමට තාක්ෂණය දියුණු වී ඇති හෙයින් රජය හා පුද්ගලික අංශයට එහි නියැලෙන්නට පසුබිම සකස් කළ හැකිය. අඩු ජලපරිහරණය සහිත ඉක්මන් ආහාර භෝග වවන්නට ගොවියන් සංවිධානය කරන්නට අවශ්‍යය.

මෙම සියළු දේ හමුවේ වේගය වැදගත්ය. ඉක්මනින් තීරණගත යුතුය. සහභාගීත්ව ක‍්‍රමවේදය හා ඉතාම නිවැරදි භාවිතාව ගැන විධිමත් අවධානය අවශ්‍යය. නියඟය හමුවේ හිඟ විය හැකි සම්පත් නිසි සේ කළමණාකරණයේ දී ඉතාම ප‍්‍රායෝගික විය යුතුය. ජනතාව පමණක් නොව ගහ කොළ වන සතුන් ගැන ද කල්පනා කිරීම ආණ්ඩුවක වගකීමයි.