milinda-prashna

2016/12/07 – ලංකාදීප

රථ වාහන වැරදි වෙනුවෙන් නියම කරන ස්ථානීය දඩ සංශෝධන යෝජනාව රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළේය. දඩ මුදල වැඩි කරන තීරණයට විරුද්ධ මතයක් නැගී, එය වර්ජනයක් දක්වා දුර දිග ගියේය. වාහන දඩ වැඩි කරන තීරණයට රියැදුරන් එකඟ නැත. විශේෂයෙන් පුද්ගලික බස් සහ ත‍්‍රීවිලර් රියැදුරන් එහි පෙරමුණේ සිටිති. නිතර වැරදි කරන, වැඩිපුරම දඩ ගෙවන කණ්ඩායම ඔවුන් නිසා විය හැකිය. නමුත් තද නීති පනවා මහ පාරේ විනයක් ඇති කරනවාට අකමැති අය විරලය. මාර්ග නීති වලට ගරු කරමින් වාහන පදවන  සහ එහෙයින් ම අනතුරු අඩු රටක් හැදෙනවා නම් සියළුම දෙනා එකඟ බව නිසැකය.

නමුත් රටට ප‍්‍රශ්නයක් තිබේ. දඩ ගෙවන්නේ රටේ වරප‍්‍රසාද නැති එක කොටස පිරිසක් පමණක්ද? ජනතාව අහන්නේ එයයි. පෙර සහ පසු ගමන් රථ සහිතව මැති ඇමැතිවරු ගමන් කරන විට මාර්ග නීති එපමණ සලකන්නේ නැත. මාර්ග සංඥා නොලකා ගමන් කරන දේශපාලනඥයන් ගේ නිල රථ නතර කර දඩ නියම කරන්නට පොලිසිය පෙළැඹෙන්නේ නැත. බොහෝ අවස්ථාවල ආරක්ෂක අංශයේ වාහන පදවන්නේ සෙසු වාහන ගැන සැලකිල්ලක් නැතිවය. පොලිස් සහ ත‍්‍රිවිධ හමුදා නිල අංක සහිත වාහන පාරේ තදබදය ඇති වේලාවේ විරුද්ධ පැත්තෙන් ගමන් කරන විට සාමාන්‍ය පුරවැසියන් ඉවසන්නේ වෙන යමක් කළ නොහැකි හෙයින්ය. මැති ඇමැතිවරු හා ආරක්ෂක අංශ මෙලෙස හැසිරෙන විට මහ පාරේ නීතිය සාමාන්‍ය අහිංසක පුරවැසියන්ට පමණක්ද? නීති හදන්නට පාර්ලිමේන්තුවට යන පිරිස නීතියට ගරු කළ යුතුය. නීතිය ආරක්ෂා කරන්නේ දැයි අවධානයෙන් ඉන්නා ආරක්ෂක නිලධාරීහු නීතියට අවනත විය යුතුය. මෙම දෙකොට්ඨාශය මාහා මාර්ගයේ නීතිය නොසලකා ක‍්‍රියා කරන්නේ නම් පොදු ජනතාවට වැඩි දඩ නියම කර පාරේ විනය හදන්නට උත්සාහ කිරීම යුක්ති සහගත නැත.

ගිලන් රථයක සයිරන් හඞ ඇහෙන විට පාර ඉඩ දෙන වාහන රියැදුරන් මැති ඇමැති නිල රථ වලට ඉඩදෙන්නේ නැත. සාමාන්‍ය වාහන බලයෙන් නතර කර දේශපාලනඥයන් ගේ රිය පෙළ යන විට ජනතාව දොස් කියන්නට පටන් ගෙන තිබේ. නිල රියෙහි යන එන වරප‍්‍රසාද ලත් පිරිස එය නොදන්නා නමුත් ජනතාව තමන්ට දොස් පවරන බව දේශපාලනඥයන් දැනගත යුතුය. ජනතා සේවයට පත් කරගන්නා මහජන නියෝජිතයන් ජනතාවගේ ගරුත්වයට හේතුවන සේ නොහැසිරෙන විට ජනතා විරෝධය වර්ධනය වන අතර එය රටට අහිතකර ප‍්‍රතිඵල ඇතිකරන බව තේරුම් ගැනීම අවශ්‍යය.

නීතිය සර්ව සාධාරණ විය යුතුය. බලය ඇති පිරිසට වරප‍්‍රසාද හිමි වන අතරවාරයේ බලය නැති අහිංසක ජනතාව සියළු පීඩා විඳින්නන් විය යුතු නැත. යතුරු පැදියකින් ත‍්‍රීවිලර් එකකින් ගමන් කරන්නේ පොදු ජනතාව බව තේරුම් ගත යුතුය. පවතින පසබිම මත පුද්ගලික බස් රථයට දඩ නියම කළ හැකි නමුත් එය ගෙවන්නේ එහි  ගමන් කරන පොදු ජනතාව විනා බස් අයිතිකරුවන් නොවේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාව සිය නියෝජිතයන් තෝරා ගන්නේ රට පාලනය කරන්නටය. මෙරට දේශපාලනඥයන් හැසිරෙන අන්දම ගැන ජනතාවට විනිශ්චයක් තිබේ. මැති ඇමැතිවරු විශාල වරප‍්‍රසාද ලබන අතර තමන් එයට වන්දි ගෙවන බව දුප්පත් ජනතාව හොඳින් දන්නා කාරණයකි. මහජන නියෝජිතයන්ගේ සුපිරි වාහන පරිහරණය ගැන විශාල ආන්දෝලනයක් ඇත. රටට සේවය කරන්නට යන කණ්ඩායම වරප‍්‍රසාද අසීමිතව භුක්ති විඳින අතර එය නරක ආදර්ශයකි. සරල වාහනයකින් රටේ නීතියට අනුව මහ පාරේ යන මහජන නියෝජිතයෙකු වෙන්නට බැරි සහ රජයේ ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් මහ පාරේ නීති අනුගමනය කරන්නට නොහැකි වෙලාවක දඩ මුදල් වැඩි කරන්නට කරන ලද යෝජනා නොසන්සුන්තාවය ඇති කරන්නට බලපෑ බව සඳහන් කරන්නට අවශ්‍යය.