milinda-prashna

2016/11/23 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ආණ්ඩු පත් කරන්නේ පොදු ජනතාවයි. මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩු ජන සම්මත ව්‍යවස්ථාවට අනුකූලව ක‍්‍රියාත්මක වෙයි. නිල කාලය තුළ ආණ්ඩු හැසිරෙන අන්දම අනුව ජනප‍්‍රියත්වය අඩු  වැඩිවෙන බව නිරීක්ෂණය කළ හැකිය. පාලනය මැනැවින් පවත්වාගෙන යන සමහර රටවල් ජනතාව හමුවට ගොස් තමන් ක‍්‍රියාත්මක වන ආකාරය ගැන සමීක්ෂණ වලින් විමසා බලයි. ආණ්ඩු ජනතා මතය සොයා නොබලන විට ජනමාධ්‍ය ආයතන කරන්නේ ස්වාධීන සමීක්ෂණ පවත්වා ඒවායේ ප‍්‍රතිඵල අනාවරණය කිරීමයි. එම දත්ත ඇසුරු කරන පාලකයන් සිය තීන්දු ගැනීමේ ක‍්‍රියාවලියේ දී සාධාරණ වෙන්නට උත්සාහ දරති.

ජනමත සමීක්ෂණ, නමත විචාරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම නංවන තැන්ය. විශේෂයෙන් ජනමත විචාරණය ව්‍යවස්ථාවෙන් පනවන ලද, ජනතා අනුමැතිය ලබාගැනීම සඳහා අනුගමනය කරන ක‍්‍රමයකි. ජනමතය ගැන හොඳටම විශ්වාසය තබා තමන්ගේ තීරණයට ජනතා අනුමැතිය ඉල්ලා සිටි ආණ්ඩු අපහසුතාවයට පත් අවස්ථා ලෝක ඉතිහාසයෙහි තිබේ. ඉතා මෑතක බි‍්‍රතාන්‍ය ජනමත විචාරණයක් පවත්වන ලදී. යුරෝපා කොමිසමෙන් ඉවත් විය යුතුද නැද්ද යන කාරණය ගැන ජනමතය විමසීය. අගමැති කැමරන් මහතා යුරෝපා කොමිසම ගැන ඉලක්කයක සිටි අතර කොමිසමේ සාමාජිකත්වය දැරිය යුතුයැයි ජනතාව අනුමත කරනු ඇතැයි හෙතෙම විශ්වාස කළේය. පූර්ව සමීක්ෂණ වල දී ද අගමැතිවරයාව සිටි ඬේවිඞ් කැමරන් ට වාසිදායක බව අනාවරණය වූ නමුත් බි‍්‍රතාන්‍ය ජාතිකයෝ මෙම ජනමත විචාරණයේ දී කැමරන් පරාජය කළහ. ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූ අතර දැන් යුරෝපා කොමිසමෙන් ඉවත්වන බාරධුර කාර්යයෙහි බි‍්‍රතාන්‍ය නිරතය.

මෙම ජනමත විචාරණයේ ප‍්‍රතිඵල ගැන ආන්දෝලනය අවසන් වන විට දැන් ජාත්‍යන්තරය බලා ඉන්නේ ඉතාලියේ ජනමත විචාරණයට කුමක් වනු ඇත් ද යන්න ගැනය.

ඉතාලියේ අගමැති මැටෙයෝ රෙන්සි  එරට ජනප‍්‍රිය චරිතයකි. හෙතෙම ආණ්ඩුවේ නීති වෙනස් කිරීමේ පටිපාටිය පහසු කරන යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර එය ලබන දෙසැම්බර් හතරවැනිදා ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්නට නියමිතය. ව්‍යවස්ථාවට අනුව අලූත් නීති සම්පාදනයේ දී සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යය. සෙනෙට් බහුතරයක් නැති අවස්ථාවල පවා ආණ්ඩුවට අවශ්‍ය නීති සංශෝධනය කරගත හැකිවන පරිදි ව්‍යවස්ථාව වෙනස් කරන්නට ඉතාලිය සූදානම්ව සිටී. යෝජනාව කැබිනට් සහ සෙනෙට් අනුමැතිය ලබා ඇති අතර දැන් අවශ්‍යව ඇත්තේ ජනතා අනුමැතියයි. මේ සඳහා වූ ජනමත විචාරණයේ දී ආණඩුව පරාජය වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වන බව අගමැතිවරයා සඳහන් කර තිබුණු අතර දැන් වන විට මෙම ජනමත විචාරණය අගමැතිවරයාට අවාසි සහ ඇතැම්විට ඉතාම තියුණු සටනක් වන ලකුණු පෙන්වා තිබේ.

ඉතාලි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන ජනමත විචාරණ දෙකක් මෙතෙක් පවත්වා තිබේ. 2001 වසරේ පැවැත්වූ ජනමත විචාරණය ආණ්ඩුව ජයගත් අතර 2006 වසරේ දී පවත්වන ලද ජනමත විචාරණයේ දී ආණ්ඩුව පරාජයට පත්විය.

ඉතාලියේ ලාබාලතම අගමැතිවරයා සේ සැලකෙන මැටෙයෝ රෙන්සි 2014 වසරේ සිට අගමැති ධුරය උසුලන අතර නගරාධිපති ධුරයක සිට අගමැතිවරයෙකු දක්වා  ගමනක් පැමිණි ජනප‍්‍රිය පාලකයෙකි. ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතාව හමුවට ගෙන ගිය හෙතෙම අද වන විට උණුසුම් ප‍්‍රතිචාර වලට මුහුණ දෙමින් සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මහජනතාව හැසිරෙන අන්දම පූර්ව විනිශ්චයකට යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර ජනමත විචාරණ යෝජනා කරන පාලකයන් මුහුණ දෙන පසුබිම ද සලකා බැලිය යුතුය.