milinda-prashna

2016/10/19 – ලංකාදීප

නැවත වතාවක් අඛණ්ඩ විදුලිය සැපයුමට බාධා සිදුවී තිබේ. උත්පාදනයේ දී ගැටළු මතුවන විට සැපයුම සිමා කරන්නට සිදුවෙයි. එදා – මෙදා ස්වභාවය එයයි. නිවැරදි සැලසුමක් අනුව කටයුතු නොකළහොත්  අනාගතයේ දී ද එසේ සිදුවන්නට බැරි නැත. විදුලිය බලය සම්බන්ධයෙන් රටට දීර්ඝ කාලීන සහ ස්ථිර විසඳුමක් අවශ්‍යව තිබේ.

දකුණු ආසියාවේ රටවල් අතර ප‍්‍රතිශතයක් වශයෙන් වැඩිම ගෘහස්ථ ප‍්‍රමාණයකට විදුලිය සපයා ඇති රට ශ‍්‍රී ලංකාවයි. මුල් කාලයේ දී විදුලිය උත්පාදනය වියදම අඩුය. ජල විදුලිය උත්පාදනය එයට හේතුවක් විය. විදුලිය ඉල්ලූම වැඩිවන විට ජල විදුලිය ප‍්‍රමාණවත් නොවූ අතර ඛණිජ තෙල්, ගල් අඟුරු හෝ වෙනත් බලශක්ති ප‍්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනයට නැඹුරු වෙන්නට සිදුවි තිබේ. උත්පාදනය නංවන්නට විශාල ආයෝජනයක් කරන්නට සිදුවෙයි. වැඩි පිරිවැයක් දරා නිපදවන විදුලිය ඒකකයක මිල ඉහළ මට්ටමකය. කාර්මික ගැටළු පමණක් නොව පරිසර ප‍්‍රශ්න ද එයින් පැන නගී.

මෑත කාලය තුළ මෙරට විදුලිය පරිභෝජනය දිනෙන් දින වැඩි වී ඇත. අඩු ආදායම් මට්ටමක පැවැති රටක සිට මැදි ආදායම් මට්ටම දක්වා දියුණු වන පසුබිම තුළ පොදු ජනතාව සිය නිවාස ආලෝකවත් කරන්නට, මෙවලම් භාවිතා කරන්නට වැඩිපුර විදුලිය ඉල්ලා සිටී. කර්මාන්ත හා සේවා ව්‍යාප්තිය සිදුවන විට තව තවත් විදුලිය අවශ්‍ය වෙයි. අඛණ්ඩ සැපයුම පමණක් නොව සාධාරණ මිල යන පැති දෙකම වැදගත් වෙන්නේ එහෙයින්ය.

විදුලිය උත්පාදනයට උපයෝගි කරගන්නා ක‍්‍රමය ගැන එකිනෙකට වෙනස් අදහස් තිබේ. ඛනිජ තෙල්, ගල් අඟුරු හෝ ද්‍රව ගෑස් යන ප‍්‍රභව විය හැකි බව ප‍්‍රතිපත්ති සාකච්ඡා වල දී ප‍්‍රකාශ වෙයි. කතා කරමින්, සැලසුම් හදමින් ඉන්නා අතරවාරයේ දී ලෝකයේ විදුලිය උත්පාදනය කරන තාක්ෂණය වෙනස් වන අතර රට තුළ විදුලිය අර්බුදයක් ද නිර්මාණය වෙයි. දැන් සිදුවී ඇත්තේ එයයි. මෙයින් අවුරුදු දහයකට කලින් ගල් අඟුරු විදුලිය උත්පාදනය ලාභ දායක වූ නමුත් අද වන විට සූර්ය බලශක්තිය පිරිවැය අඩු එකකි. පරිසරයට හිතකර බව ද සඳහන් කළ යුතුව ඇත. එම පරිවර්තනය සිදුවන කාලය තෙක් මෙරට සාමාන්‍ය ජනතාවට තම එදිනෙදා විදුලිය බල අවශ්‍යතාව සපුරා ගැනීමට බාධාවක් නොතිබිය යුතුය.

ආණ්ඩු බලයට පත්වෙයි. නිලධාරීහු සැලසුම් හදති. විදුලිය යෝජනා ක‍්‍රම වෙනුවෙන් තර්ක කරයි. එකක් නොගැලපෙන බව දක්වා අනෙකක් යෝජනා කරයි. අවසානයේ දී වැඩි දෙයක් සිදුවෙන්නේ නැත. ආණ්ඩු තීරණ ගන්නේ නැති අතර කල්හැරීම නිසා ගැටලූ ඇතිවෙයි. මෙරට විදුලිය ක්ෂේත‍්‍රයට සිදුවී ඇත්තේ එයයි. එහි අකාර්යක්ෂමතාව සහ  ප‍්‍රතිපත්ති සම්පාදනයෙහි දුබලතා රට තුළ ගැටළු ඇති කර තිබේ. මේවාට වන්දි ගෙවන්නේ පොදු ජනතාව බව අමතක කළ යුතු නැත. විදුලිය යෝජනා ක‍්‍රම ප‍්‍රමාද වන විට සහ එයින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වෙයි. සංවර්ධනය අඩපණවෙයි.

රටට අවශ්‍ය විදුලිය ප‍්‍රමාණය කොපමණ ද යන්න ගණන් බැලිය හැකිය. කාලගුණ තත්ත්ව ගැන අවබෝධයක් තිබේ. විදුලිය නිපදවන ක‍්‍රම ඒවා වෙනුවෙන් ආයෝජනයට අවශ්‍ය ධනය තක්සේරු කළ හැකිය. ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙම පැති සංකීර්ණ නැත. ඉක්මන් තීරණ අවශ්‍යය. නැතිනම් අන්ධකාරයේ ඉන්නේ සාමාන්‍ය ජනතාවයි. ආලෝකය වෙනුවෙන් වැඩිපුර ගෙවන්නේ ඔවුන්ය. විදුලිය බලය වෙනුවෙන් වැඩි මිලක් ගෙවන විට අකාර්යක්ෂම තැනක් බවට පත්වන්නේ රටයි.