milinda-prashna

12/10/2016 – ලංකාදීප

සවුදි අරාබිය ඛණිජ තෙල් සම්පත නිසා පොහොසත් රටකි. එරට ආර්ථිකයෙන් සියයට හතලිස් හතරකට පදනම බොරතෙල්ය. ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහත වැටීම සවුදි ආර්ථිකය අර්බුදයකට පත් කර තිබේ. තෙල් නිෂ්පාදනයේ දී පිරිවැය අඩුම රට බවට පත්ව සිටියේ සවුදි අරාබියයි. නමුත් ඇමරිකාව අලූත් තාක්ෂණය භාවිතා කර තෙල් කර්මාන්තය විශාල වෙනසකට ලක් කළේය. ඉසුරුමත් තැනක තිබුණ සවුදි ආර්ථික සහ සමාජ පසුබිම නැවත සකස්කර ගැනීම සඳහා ප‍්‍රතිසංස්කරණ යෝජනා වී ඇත.

අලූත් තත්ත්වයට මුහුණ දෙන්නට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් දෙකක් සම්පාදනය වී ඇති බව සවුදි අරාබි තොරතුරු උපුටා දක්වන මාධ්‍ය හෙළිදරව් කරයි. එයින් එකක් අවුරුදු පහක සැලැස්මකි. දෙවැන්න වසර 2030 දක්වා සවුදි ආර්ථිකය පරිවර්තනය කරන ආකාරයේ එකකි.

මොහොමඞ් බින් සල්මාන් කුමරු සවුදි ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති සහ ආර්ථික කටයුතු කවුන්සලයේ සභාපති වශයෙන් පත්වූයේ මෑතක දීය. හෙතෙම බලය අතින් දෙවැනි වන්නේ රජුට පමණකි. හෙතෙම සවුදි අරාබිය ගොඩනගන අලූත් තීරණ ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙතෙක් භාවිතා කරමින් තිබූ ඉස්ලාම් දින දර්ශනය බටහිර ක‍්‍රමයට හැරවීම එයින් ප‍්‍රධාන එකකි. හඳ අනුව සකස්ව තිබුණ අරාබි දින දර්ශනයේ දින ගණන අඩුය. අවුරුද්දකට වැටුප් ලැබෙන වාර ප‍්‍රමාණය නව ක‍්‍රමය අනුව අඩුවෙයි. අවුරුදු පහක් තුළ වැටුප් පිරිවැය සියයට පහකින් අඩු කරනු ඇත. රජයේ සේවය අඩු කර පුද්ගලික අංශයේ වැඩ කරන සේවක ප‍්‍රමාණය නංවන්නට ද සැලසුම් කර ඇත.

ජලය, විදුලි, ඉන්ධන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු අංශ ගණනක් සහනාධාර මත සපයන ලද නමුත් එය නතර කර තිබේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් සියයට පහක වැට් බද්දක් යෝජනා කරන අතර රජයේ වියදම් අඩු කරයි. මැති ඇමැතිවරුන්ගේ සහ රජයේ සේවකයන්ගේ වැටුප් සියයට විස්සකින් කපා හැරේ. මිල අධික වාහන මිලදී ගැනීම කාර්යාල නවීකරණය වැනි දේ සීමා කරන්නට නියම කර තිබේ. වසර 2030 වන විට දෙගුණයක් විය හැකි වෘත්තීය අවශ්‍යතා සපුරනුවස් ඒ වෙනුවෙන් මෙහෙයැවෙන අධ්‍යාපන ක්ෂේත‍්‍රය සූදානම් කරන්නට සියයට තිහකින් පුද්ගලික අධ්‍යාපනය නංවන බව ප‍්‍රකාශයට පත්කරයි.

එරට විශාලතම තෙල් නිෂ්පාදනය කරන ඇරම්කෝ සමාගම, ටෙලිකොම්, විදුලිය සහ ගුවන් සේවා සම්ගම් වල ද කොටස් නිකුත් කරන්නට යෝජනා කරයි. ලෝකයේ වඩාත්ම මිල අධික දේපොල වශයෙන් සැලකෙන මක්කම අවට වර්ග කිලෝ මිටර් හතරක් විකුණන්නට සහ එය ආශ‍්‍රය කරගෙන දැනට සංචාරකයන් මිලියන දහ අටක් අවුරුද්දකට එන ප‍්‍රමානය ඉදිරි වසර පහ තුළ මිලියන 35-45 දක්වා නංවන්නට යෝජනා කරයි.

ආර්ථික අර්බුදය හමුවේ අලූත් ප‍්‍රතිපත්ති ගැන සහ ප‍්‍රතිසංස්කරණ තුළින් නවෝත්පාදනයකට යන ගමන ගැන සවුදි අරාබි වැසියන් තුළ යම් විශ්වාසයක් ජනිත වන්නට පටන්ගෙන තිබේ. සවුදි අරාබියේ තරුණ තරුණියන් ලෝකයේ නොයෙක් රටවල ඉගෙනගනිමින් සිටින අතර එම කණ්ඩායම බෙහෙවින් සමාජ මාධ්‍ය පරිහරණය කරමින් සිටිති. ඔවුහු සවුදි අරාබියේ සිදුවන පෙරැළිය උපේක්ෂා සහගතව ඉවසන බව නිරීක්ෂණය කළ හැකිය. එය ආර්ථික වෙනස්කම් කිරීමේ දි වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇත.

ආර්ථික ව්‍යුහය එක හා සමානව පවතින්නේ නැත. අවස්ථාවක එය පහසු වන නමුත් තවත් අවස්ථාවක අසීරු තත්ත්වයන් දක්වා පරිවර්තනය වෙයි. බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 100 ඉක්මවූ මිලක සිට හරි අඩක් දක්වා මිල පහතට වැටෙන විට සවුදි සවුදි අරාබියේ ආර්ථිකය අර්බුදයකට ලක්වෙයි. සිදුවන පරිවර්තන අභියෝගාත්මක බව නිරීක්ෂණය කළ හැකිය. මෙම යුගයේ පවතින ස්වභාවය හමුවේ නායකත්වය ගෙන සමාජ පරිවර්තන වෙනුවෙන් ගන්නා තීන්දු ඉතාමත් වැදගත්ය.