milinda-prashna

04/10/2016 – ලංකාදීප

කොලොම්බියාවේ දශක හයක් පැවැති ගැටුම් අවසන් කරන සාම ක‍්‍රියාවලියක් යෝජනා විය. ජනතා අනුමැතිය ලබා ගැනීමට ජනමත විචාරණක් පවත්වන ලදී. පොදු ජනතාව සාම ක‍්‍රියාවලිය ප‍්‍රතික්ෂේප කර තිබේ. ත‍්‍රස්තවාදීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට ඇතුළු වන වෑයම ජනතාව පරාජය කරන්නේ මන්ද?

කොලොම්බියාව දකුණු ඇමරිකානු රටකි. නිදහස අත්පත් කරගත් කාලයේ සිට එහි අභ්‍යන්තර ගැටුම් පැවැතිණ. ෆාක් ගරිල්ලන් ඒ අතරින් ඉදිරියට පැමිණෙයි. 1964 දී ආරම්භ කරන ලද ෆාක් ත‍්‍රස්තවාදය කොලොම්බියානු ආරක්ෂක අංශ සමග කරන සටන් රටට මහත් විනාශයක් ඇති කළේය. අවුරුදු පනස් දෙකක් පැවැති ත‍්‍රස්තවාදය ජීවිත දෙලක්ෂ විසි දහසකට වැඩි ගණනක් අහිමි කර තිබුණ අතර දස ලක්ෂයකට ආසන්න වැසියන් පිරිසක් රට හැර යන්නට පොළඹවන ලද බව වාර්තා වෙයි.

ජාත්‍යන්තරය ෆාක් ගැන කියන්නේ චේ ගුවේරා ත‍්‍රස්තවාදයෙන් අත් දැකීම් ලැබූ නූතනයේ පුරුක හැටියටය. අඩ සියවස ඉක්මගිය බිහිසුණු ත‍්‍රස්තවාදය සාම කි‍්‍රයාවලියක් මගින් අවසන් කරන ප‍්‍රයත්නය විශාල ජයක් ලෙස ජගත් ප‍්‍රජාව විශ්වාස කළේය. කොලොම්බියානු පාලකයන් සටන් විරාමයක් යෝජනා කරන ලද අතර ත‍්‍රස්තවාදී නායකයන් සමග සාකච්ඡා කර සටන් හමාර කර සාමකාමී රටක් ඇති කරන ගිවිසුමකට ගියේය. මෙම ගිවිසුම දීර්ඝ ලියැවිල්ලකි. ත‍්‍රස්තවාදීන් ආයුධ බිම තබා යළි සාමාන්‍ය ජන ජීවිතයට නැඹුරු කිරීම එහි වගන්ති වලටත් වඩා විශාල කාර්ය භාරයකි. ත‍්‍රස්තවාදී නායකයන් රට වටා ගොස් තමන් කරන ලද වැරදි ගැන පාපෝච්චාරණය කළේය. ඔවුන් බෝම්බ දැමූ දේවස්ථානයකය වැනසුණු කුරුසය නැවත ප‍්‍රතිසංස්කරණය කර සාමයට ඇති නැඹුරුව පෙන්වීය. ත‍්‍රස්තවාදී නායකයෝ තම පුපුරන ද්‍රව්‍ය හමුදාව සමග එකතු වී විනාශ කරන ලද අතර අවි භාර දුන්නේය. ප‍්‍රසිද්ධියේ වැරදි පිළිගන්නා ත‍්‍රස්තවාදීන්ට සාම ගිවිසුම අනුව සමාව ලැබී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එකතු වෙන්නට අවස්ථාව ලැබේ. ලෝකයේ සියළුම රටවල් මෙම වැදගත් කාර්යය දෙස සියුම් අවධානයක සිටියේය. කොළොම්බියානු නායකයන්ගේ කැපවීම සහ ත‍්‍රස්තවාදී නායකයන් සටන් අත්හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇතුළුවීම බෙහෙවින් අගය කළේය.

එනමුත් කොළොම්බියාවේ පුරවැසියන් මෙම සාම ගිවිසුම බලාත්මක කරන ජනමත විචාරණය පරාජයට පත් කර තිබේ. එය තවත් එක් ඡන්ද ප‍්‍රතිඵලයක් පමණක් නොවේ. මුළු ලෝකයම සාම ක‍්‍රියාවලිය අනුමත කරන, ත‍්‍රස්තවාදීන් අවි බිම තබන සහ ආණ්ඩුව ඒ වෙනුවෙන් පියවරක් ඉදිරියට තබන අවස්ථාව ජනතාව ප‍්‍රතික්ෂේප කරන සිද්ධියකි. පැවැති ජනමත විචාරණයේ දී ඡන්දය පාවිච්චි කරන ලද ප‍්‍රතිශතය අඩුය. මෙම ඡන්ද ප‍්‍රමාණය තුළ සියයට 50.2 ක් සාම කි‍්‍රයාවලියට විරුද්ධය. සියයට 49.8 සාම ක‍්‍රියාවලියට කැමැතිය. මත දෙක අතර පරතරය ඡන්ද පනස් හත් දහසක් පමණකි. ජනමත විචාරණයට සූදානම් වන අවස්ථාවේ දී රට තුළ සාමක‍්‍රියාවලය ගැන බලවත් ප‍්‍රසාදයක් තිබිණි. පුරෝකථන අනාවරණය කළේ රට වැසියන්ගෙන් බහුතරයක් සාමක‍්‍රියාවලිය අනුමත කරන බවකි. එරට ජනාධිපතිවරයා ගෙන් ප‍්‍රතිඵලය නරක එකක් වුවහොත් විකල්ප විසදුම කුමක්දැයි මාධ්‍ය විමසන විට විකල්පයක් අනවශ්‍ය වන තරමට එහි ප‍්‍රතිඵලය ගැන පාලකයන්ටත්, ජාත්‍යන්තර ප‍්‍රජාවටත් බලවත් විශ්වාසයක් තිබිණි. නමුත් සාම ක‍්‍රියාවලිය අනුමත නොකරන ප‍්‍රතිඵලය අනුව සියල්ල ආපසු හැරී තිබේ.

ලක්ෂ ගණනින් ජීවිත විනාශ කළ ත‍්‍රස්තවාදීන් තමන් ඉදිරියට පැමිණ පාපෝච්චාරණය කර සමාව ගත් පමණනින් සියලූ දේ සාමකාමීව අවසන් වෙන්නේ නැති බව සාම ක‍්‍රියාවලියට වරුද්ධව ඡන්දය දුන් ඇතැම් පිරිසකගේ අදහසයි. ළමා සොල්දාදුවන්, පැහැරගෙනයාම්, දේපල විනාශ කිරීම් වලට වගකිව යුතු ත‍්‍රස්තවාදීහු හිරගෙදරට යා යුතු බව කොළොම්බියානුවන් අතරින් සෑහෙන බලවත් මතයක් මතු වෙමින් තිබේ.

සාමයට අත දිගු කරන ලද ෆාක් ත‍්‍රස්තවාදීන් අර්බුදයකය. දශක හයකට වැඩි ගැටුම් අවසන් කර අලූත් යුගයක් ගැන බලාපොරොත්තු තබන ලද ජන කොටස සිදුවිය හැක්කේ කුමක්දැයි විමතියට පත්ව සිටී. මෙය තවත් එක් ඡුන්ද ප‍්‍රතිඵලයක් පමණක් නොවේ. නූතන ජනසමූහයා සිද්ධි සම්බන්ධව තමන්ගේ විනිශ්චය දෙන ආකාරයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුළ තීරණ ගැනීම තවත් සංකීර්ණ කරන බව මෙයින් නිරීක්ෂණය කළ හැකිය.