milinda-prashna

10/09/2016 – ලංකාදීප

ජී. අයි. පනත් කෙටුම්පත ඇමරිකානු පුරවැසියන් හොදින් දන්නා එකකි. එයින් ප‍්‍රතිපාදන සලසන්නේ එරට ආරක්ෂක අංශ සාමාජිකයන්ටය. උසස් අධ්‍යාපනයටය. ජී. අයි. කියන්නේ ගැල්වනයිස් යකඩ හදුන්වන කෙටි ව්‍යවහාරයයි. ඇමරිකානු ආරක්ෂක භටයන් ජී. අයි. වෙන්නේ ඔවුන් ගේ අතට මුලින්ම ලැබෙන යකඩින් තැනූ ගිනි අවිය හෙයින්ය. එසේම සෙබලූන් ‘‘ගැල්වනයිස් යකඩයන්’’ සේ දැඩි නිසාය.  ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දී රට වෙනුවෙන් අභියෝගයට මුහුණ දෙන ආරක්ෂකයන් ගේ සත්කාරය හා අභිමානය තහවුරු කරන්නට අයි. ජී. පණත ප‍්‍රතිපාදන සලසයි.

පනත ඉදිරිපත් කළේ දෙවන ලෝක යුද්ධයට පසුවය. දෙවන ලෝක යුද්ධය අවසන් කර ආපසු එරටට පැමිණි සෙබළුන් ගේ අනාගත අභිවාද්ධිය  තහවුරු කළේ එම පණතින්ය. ඉන්පසු ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුළු මෑත පැවැති සෑම යුද්ධයකටම සහභාගී වූ භටයෝ එහි ප‍්‍රයෝජන ලැබූහ. හැමදාම යුද්ධය නැත. යුද බිමේ සේවය අවසන් කර ඇමරිකාවට පැමිණි සෙබලූන්ට හමුදා නිල ඇදුම පැත්තකින් තියා සිවිල් ජීවිතයට හුරු වෙන්නට සිදුවෙයි. හමුදා ජීවිතයේ දී වීරයන් සේ ජීවත් වූ භටයන් සාමාන්‍ය පැවැත්මට පත්වන විට මානසිකත්වය සමබර කර ඔවුන් රැක බලාගැනීම වෙනුවෙන් ජී. අයි. පණත බලගන්වන්නේය.

අසල්වැසි ඉන්දීයාව තම සෙබළුන් වෙනුවෙන් විශේෂ සුබසාධනය පවත්වාගෙන යන්නේ  ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයැවීමෙන්ය. විශාල හමුදා නඩත්තු කරන රටවල් දෙකක් තමන්ගේ භටයන් බලා ගන්නා වැඩ පිලිවෙලවල් වල මූලික රාමුව එසේය.

ශ‍්‍රී ලංකාව දරුණු ත‍්‍රස්තවාදයකට මුහුණ දුන්නේය. ස්වකීය ජීවිතය පරදුවට තබන ආරක්ෂක හමුදාව සහ පොලිසිය රට තුළ සාමය තහවුරු කරයි. ජන ජීවිතයට තිබූ බිය තුරන් කර සුරක්ෂිතතාවය ඇති කරයි. ඒ වෙනුවෙන් රට වැසියන් කල කැපවීම අමතක කළ යුතු නැත. සාමාන්‍ය ජනතාව හමුදාවට අවශ්‍ය සියළු දේ වෙනුවෙන් පරිත්‍යාගයක් කළේය. ආරක්ෂක අංශ කළ කැපවීමේ දී තමන්ගේ ජීවිතය දෙවැනි තැනට සේ සලකා පෙරට ගිය බව සදහන් කළ යුතුය. ත‍්‍රස්තවාදයට එරෙහි ගැටුම් උත්සන්න වන විට විශාල පිරිසක් රජයේ ආරක්ෂක අංශ වලට බැදී සටන් බිමට ගියේය. දැන් සාමය තහවුරු කර වසර හතකි.

යුද්ධය වෙනුවෙන් කැපවූ ආරක්ෂක අංශ නැවතත් සමාජගත වෙමින් තිබේ. ඒ විශ‍්‍රාම ජීවිතයත් සමගය. යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක යන අංශ වල සේවා ස්ථිර කාලයක් තිබේ. එයින්පසු විශ‍්‍රාම ලබයි. යුද ගැටුම් උත්සන්නව පැවැති සමයේ යුද්ධයේ සිටි තරුණ සෙබලූන් දැන් විශ‍්‍රාම ලබමින් සිටී. යුද්ධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් දස දහස් ගණනින් දිවි පිදූහ. තවත් දස දහස් ගණනක් සදාකාලික ආබාධ වලට ගොදුරු වූහ. ඔවුන වෙනුවෙන් සමාජ සත්කාරක වැඩ සටහන් විවිධ ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙයි. සාමය තහවුරුවෙමින් පවතින අවස්ථාවක නිල ඇදුම ගලවා තබා ආපසු නිවෙසට එන ආරක්ෂක අංශ නිලධාරීන් වෙනුවෙන් ජන සමාජයට යම් වගකීමක් තිබේ.

ආරක්ෂක සේවයෙන් විශ‍්‍රාම ලබන්නේ හොද අත්දැකීම් ඇති පිරිසකි. හමුදා විනය අනුව පසුබිම සකස් කරගත් අනන්‍ය සංස්කෘතික ලක්ෂණ සහිත පිරිසකි. අවුරුදු විස්සක් පමණ යුද බිමේ සිටි මෙම පිරිස සතු හැකියාව, සමත්කම් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් හසුරුවා ගැනීමට සැලැස්මක් අවශ්‍ය කෙරේ. මෙකී පිරිසට නිෂ්පාදන සහ සේවා යාන්ත‍්‍රණය ගැන නිසි පුහුණුවක් අවශ්‍යය. එයින් පසු රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයට එකතු කරගැනීම ගැන අවධානය යොමු කළ හැකිය. එය ජාතික වැදගත්කමකින් යුතු සුවිශශේෂී කාර්ය භාරයක් බව සදහන් කරන්නට අවශ්‍යය. ජවය සහිත, හැකියාවෙන් යුතු රට වෙනුවෙන් කැපවී ක‍්‍රියා කළ ආරක්ෂක අංශ වල පිරිස වෙනුවෙන් රටට ඉදිරිපත් කළ හැකි ජී. අයි. පණත කුමක්ද? සියළු අංශ වල අවධානය යොමු කළ යුතු කාරණයකි.