2016/08/31 – ලංකාදීප

milinda-prashna

එස්තෝනියාව උතුරු යුරෝපා රටකි. කලින් සෝවියට් සමූහාණ්ඩුවේ පාලනයේ තිබූ එස්තෝනියාව නොබෝදා අලූත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළේය. නගරය තුළ පොදු ප‍්‍රවාහනය ගාස්තු අය නොකර නොමිලේ පවත්වා ගෙන යන බවය. පොදු ප‍්‍රවාහනය නොමිලේ වන විට තම වාහන ගෙදර තියා බස් වලින් වැඩට යන්නට සූදානම් වන පිරිස සියයට විස්සකින් වැඩි විය හැකිය. එරට ආණ්ඩුව එම තත්ත්වය සලකා බලා තිබේ. එයට මුහුණ දෙන්නට සූදානම්ය. එයට සමාන්තරව නගරයේ වාහන භාවිතාව අවම වී වායු දුෂණය අඩු ප‍්‍රසන්න තැනක් බවට පත්වනු ඇති බව එස්තෝනියාවේ පාලකයෝ විශ්වාසය පළ කරති. බස් වලින් වැඩි පිරිසක් ගෙන්විය හැකි නම් එය නොමිලේ සම්පාදනය පාඩුවක් නොවන බව කල්පනා කරන්නේ දූරදර්ශී ලෙසය.

මෙම උදාහරණය පමණක් නොව ලෝකයේ තැනින් තැන ගමනා ගමනය සම්බන්ධ සංකල්ප වෙනස් වෙමින් තිබේ. එයට පදනම තාක්ෂණයයි. දැනටත් ප‍්‍රවාහනයේ තීරණාත්මක සාධකය බලශක්ති වියදමයි. ඉන්ධන පිරිවැය සලකා ගමන් බිමන් වියදම තීරණය කෙරේ. ප‍්‍රවාහනයේ දී පොසිල ඉන්ධන භාවිතය ක‍්‍රමයෙන් තුරන් වෙමින් තිබේ. නුදුරු කාලයේ දී වාහන ධාවනය කරන්නේ විදුලියෙන්ය. නැතිනම් සූර්ය බල ශක්තියෙන්ය. විදුලිය බලය නිපදවන්නේ ද සූර්ය තාපය උපයෝගී කරගෙන බව සඳහන් කළ යුතුය. හිරු පායන විට ශක්තිය ගබඩා කරගන්නා වාහන එහි බලයෙන් ධාවනය වන විට වියදම බිංදුවකි. වාහනය මිල දී ගැනීමට කරන ආයෝජනය හැර නඩත්තු පිරිවැය සීමාසහිත වන විට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ විස්මිත පෙරැලියක් අපේක්ෂා කළ හැකි වෙයි. එය පොදු ජනතාවට ලැබෙන අවස්ථාවකි.

ප‍්‍රවාහනය සම්බන්ධ අලූත් රාමුව සඳහා ජාත්‍යන්තරය සූදානම් වෙන්නේ කෙසේද? නෙදර්ලන්තය වසර 2025 සිට ඉදිරියට විදුලි කාර් හැර ඞීසල් හෝ පෙට‍්‍රල් වාහන ලියා පදිංචි නොකරන තීරණයක් ගෙන තිබේ. කර්නාටක ප‍්‍රාන්තය විදුලි වාහන වලට මාර්ග ඉවත්  කරන අතර ඉන්දියාවේ තවත් ප‍්‍රාන්ත කිහිපයක් විදුලි බලයෙන් ධාවනය වන වාහන වල බදු, ලියා පදිංචි ගාස්තු ඉවත් කර ඇත. යුරෝපා රටවල් පමණක් නොව චීනය ද අලූත් සහන ප‍්‍රකාශයට පත් කරමින් ඉන්ධන පිරිවැය රහිත විදුලි වාහන වලට ජනතාව පොළඹවන බව පෙනෙන්නට තිබේ.

බලශක්ති පිරිවැය කපා හරින අලූත් තාක්ෂණික සොයා ගැනීම් ජන ජීවිතය වෙනස්කරන්නට හේතු වී ඇත. ප‍්‍රවාහනය සම්බන්ධව කරන වෙනස්කම් ඒ අතරින් ප‍්‍රබලය. පොදු ප‍්‍රවාහනය සම්බන්ධව ගැටලූ ලෝකයේ  ඕනෑම රටක් සියුම් අභියෝගයකට මුහුණ දෙන එකකි. එයින් ගැලවී සාමාන්‍ය ජනතාවට වාසි අත්පත් කරදෙන්නට නම් පවතින තත්ත්වය වෙනස් කරන්නට අවශ්‍ය බව ප‍්‍රතිපත්ති සම්පාදකයෝ තේරුම්ගෙන ඇති බව අනාවරණය වෙයි.

ලෝකයේ වෙනත් රටවල් තාක්ෂණය වෙනස් කර ජීවිත වල පහසුව සහ පිරිවැය ගැන අවධානය යොමු කරන විට ශ‍්‍රී ලංකාව තීරණ ගන්නේ කෙසේද? එය ප‍්‍රශ්නයකි. ඞීසල් සහ පෙට‍්‍රල් වාහන ආනයනය කරන්නට ඉඩ දී ඒවාට වැඩි පුර බදු පනවන විට එහි හරය තේරුම් ගත හැකිය. ලෝකයේ එක පැත්තක රටවල් වෙනස් ආකාරයකට අවධානය යොමු කරන නමුත් අනෙක් පැත්තේ රටවල් තවමත් බලන්නේ ආණ්ඩු වල පැවැත්මේ කොටසක් වශයෙනි. වාහන වලට බදු නැත්නම් ආණ්ඩුවේ වියදම් පියවා ගන්නට මගක් නැත. එය එසේ විය යුතුද?

රටට හිතකර යෝජනා දෙස නැවුම් අදහස් ඇතිව සලකා බලන්නට කාලය එළැඹ තිබේ. මෙරට අගනුවර සහ තදාසන්න නගරවල වාහන තදබදය බරපතලය. පොදු මගී සේවා වලින් ජනතාව අපේක්ෂා කරන සේවය ලැබෙන්නේ නැත. පොදු හෝ පුද්ගලික වාහන භාවිතා කරන රට වැසියන් ඒ වෙනුවෙන් තම ආදායමෙන් සැහෙන ප‍්‍රමාණයක් වැය කරන තැනට පත්ව තිබේ. කාලය සහ ධනය වැය කර අවසානයේ දී ඉතිරි කරගන්නේ අතෘප්තියයි. මහ මග ගත කරන කාලය, ඒවෙනුවෙන් කරන වියදම නාස්තියක් බවට පත්ව ඇත. වෙනස් වෙමින් පවතින තත්ත්ව හඳුනාගෙන රාමුවෙන් එපිට තීරණ වලින් ජනතාව සතුටට පත් කළ හැකිය.