milinda-prashna

2016/08/17 – ලංකාදීප

සිංගප්පූරු ගුවන් සේවාව මෙයින් හතලිස් තුන් අවුරුද්දකට කලින් ආරම්භ කර අද වන විට සාර්ථකත්වයේ ඉහළ තැනක සිටින ව්‍යාපාරයකි.  විසි හතර දහසකට වැඩි කාර්ය මණ්ඩලයක් සමග අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන පහලොව ඉක්මවන ආදායමක් උපයන සිංගප්පූරු ගුවන් සේවය අන්තර් ජාතික කීර්තියක් හිමි කරගෙන තිබේ. ගුවන් ගමන් ගැන නොව එහි සාර්ථකත්වය අවධානයට ගත යුතුය. සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ, එය ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කරන විට මුහුණ දුන් එක්තරා අභියෝගයක් එහි දී වැදගත්ය. මන්ද එය නායකත්වය සම්බන්ධ සියුම් විග‍්‍රහයක් වන බැවිනි. අර්බුධයක් හමුවේ මුහුණට මුහුණ දී සාර්ථකත්වය අත්පත් කරගන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීමට හොඳ ප‍්‍රවේශයක් වන හෙයිනි.

සිංගප්පුරු ගුවන් සමාගමේ නියමුවන් වෘත්තීය අයිතිවාසිකම් පදනම් කරගෙන වැඩ වර්ජනයක් නිවේදනය කරයි. සංචාරක සහ ආර්ථික උවමනාවන් සඳහා ජාත්‍යන්තරය සමග බැඳී සිටි රටට එම වැඩ වර්ජනය බරපතල පීඩාවක් ඇති කරනු නිසැක බව පෙනී ගියේය. එක්තරා තීරණාත්මක මොහොතක වැඩ වර්ජනය කරන්නට සූදානම් ගුවන් නියමුවන් සහ අගමැති ලී ක්වාන් යූ මුහුණට මුහුණ සාකච්ඡාවක්  කළේය. එය කෙසේ කොයි ආකාරයට පැවැත්වූයේ ද යන්න ලී ක්වාන් යූ මහතා ගේ වචන වලින්ම පැහැදිලිව කියන යූ ටියුබ් ප‍්‍රකාශයක් අන්තර් ජාලයෙහි වෙයි. එය නරඹන  ඕනෑම කෙනෙකුට නායකත්වය යනු කුමක්දැයි අවබෝධ වෙයි. චරිතයක් තුළ තිබිය හැකි ප‍්‍රබල ශක්තිය කොපමණ ද යන්න මැන ගැනීමට හැකියාව ලැබෙයි.

ලී ක්වාන් යූ ට අනුව හෙතෙම වැඩ වර්ජනය කරන බවට තර්ජනය කරන ගුවන් නියමුවන් මුහුණට මුහුණ හමුවෙන්නේ ඔවුන්ට තීරණය ගැනීමට පහසුව ඇති කිරීමටය. යාප්පුවෙන් කතා කර ඔවුන් දිනාගෙන කොහොම හරි සේවය පවත්වාගෙන යන නායකයෙක් ද එහෙම නැත්නම් වැඩ වර්ජනයට මුහුණ දෙන්නට සමත් ශක්තියක් තිබේ ද යන්න එයින් අඟවන්නේය.

වර්ජකයන්  සහ අගමැති ලී ක්වාන් යූ අතර පරතරය අඩි පහකි. සාකච්ඡා මේසයේ දුර එයයි. ‘‘ මම දුර්වලයෙක් ද, යටත් කරගන්නට හැකිද? නැත්නම් මා දිනා ගැනීම වැදගත් ද යන්න තීරණය කරන්නට එම පරතරය හොඳටම සෑහුණ’’ බව හෙතෙම සඳහන් කර තිබේ.

ගුවන් සේවය ගොඩගැගූ තමන්ට එය විනාශ වෙන්නට ඉඩ දිය නොහැකි බව කියා ඇත්තේ තියුණු ස්වරයකින්ය. ‘‘ වර්ජනය කළොත් සිංගප්පූරු ගුවන් සේවය වහනවා. මම ආයෙත් මුල සිට පටන් ගන්නවා හැබැයි ඒ ඔබ සියලූ දෙනා රහිතව. ’’ ලී ක්වාන් යූ කියා ඇත්තේ තද භාෂාවකින්ය. ‘‘ වර්ජනය අත් හරින්න. ප‍්‍රශ්න ගැන මා එක්ක සාකච්ඡා කරන්න.’’ ලී ක්වාන් යූ කියා ඇත්තේ එපමණකි. හරියටම විනාඩි හැට පහකට පසු වර්ජනය කරන තීරණය අත් හරින ලද ගුවන් නියමුවන් සුපුරුදු පරිදි රට වෙනුවෙන් වැඩ කරන්නට තීරණය කර තිබේ.

සිංගප්පූරු නායකයාට පසුව සඳහන් කළ ආකාරය අනුව සටන් කිරීම පලක් නැති බව ගුවන් නියමුවන් වටහා ගෙන ඇත. ඔහු පරාජය කළ නොහැකිය. ගුවන් සේවය වසා දමා අලූතින් පටන් ගන්නට බැරි කමක් නැති බව තේරුම් කර දෙන්නට සමත් වූ ලී ක්වාන් යූ කවුරු රට පාලනය කළත් ඔහු අයෝමය පුද්ගලයෙකු විය යුතු බව කියා ඇත. ඔහුගේ වචන වලින්ම කියනවා නම් රටක් පාලනය කිරීම කාඞ් සෙල්ලම් කරනවා වාගේ ගේම් එකක් නොවේ. ඔහුගේ සහ ජනතාවගේ පැවැත්ම පිලිබඳ ප‍්‍රශ්නයකි.

පැවැත්ම සම්බන්ධව තීරණ ගන්නා විට එයට එඩිතරව මුහුණ දෙන ආකාරය සියුම්ය. නායකත්වය විදහා දැක්වෙන්නේ ඒ අනුවය. සිංගප්පූරු ගුවන් සේවාවේ නියමුවන් කරන ලද වර්ජන දැනුම් දීම ඉදිරියේ නිර්භීතව සටන් කරන ලද නායකයෙකු වශයෙන් ලී ක්වාන් යූ ගැන අදත් අන්තර් ජාලය තුළ ඔහුගේ අදහස් ලෙල දෙයි. ගුවන් නියමුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳා රට ගැන අවධානය යොමු කළා නම් හෙතෙම ඉතිහාස ගත වෙන්නේ දුර්වල නායකයෙකු වශයෙන්ද ?