milinda-prashna

2016/08/10 – ලංකාදීප

කැබිනට් මණ්ඩලය ආණ්ඩුවක පුලූල් වගකීමක් උසුලන බලවත් ව්‍යුහයකි. රටක් පාලනයට විෂයයන් අනුව කැබිනට් මණ්ඩල සාමාජිකයෝ තෝරා ගැනෙති. පාලකයන් ක‍්‍රියා කළ යුතු රටක අභිවාද්ධිය වෙනුවෙන්ය. ජනතාවගේ දියුණුව කැබිනට් මණ්ඩලයක සාමූහික වගකීමයි. පොදු ජනතාවගේ සතුට වෙනුවෙන් තීන්දු ගැනීම කැබිනට් මණ්ඩලයෙන් අපේක්ෂා කරන එක කාරණාවකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙයින් මාස හයකට පමණ කලින් ‘සතුටු ඇමැති’ ධුරයක් ලොව ප‍්‍රථම වරට පත් කළේය. එය විශේෂත්වයකි.

ලෝකයේ බොරතෙල් සහ ස්වභාවික ගෑස් සම්පත සතු ලෝකයේ රටවල් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය හත්වැනි තැන උසුලයි. මෑත කාලය තුළ එරට ආර්ථිකය විවිධාංගීකරණයට ලක්වූ අතර ගුවන් කේන්ද්‍රස්ථානයක් සහ මූල්‍ය කලාපයක් වශයෙන් ඩුබායි නගරයට ඇත්තේ ප‍්‍රබල අවධානයකි. අනන්‍ය පාලන ක‍්‍රමයකට හුරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි වැසියන් බහුතරයක් ඉස්ලාම් ආගමිකයන්ය. ආගමික බලපෑමක් සහිත තද නීති පවතින හෙයින් මානව හිමිකම් ක‍්‍රියාධරයන් රාජ්‍යයේ කටයුතු ගැන අවධානය යොමු කරන්නේ වෙනස් කෝණයකින්ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලයට සතුට යන විෂයය භාරව ඇමතිනියක පත්ව සිටින්නේ එවැනි පසුබිමක් තිබිය දීය.

ජනතාව සතුටින් තැබීම ආණ්ඩුවක බලවත් වගකීමක් බව මෙම ධුරයට පත් ඇමැතිනි අල් රුයුමි පසුගිය දිනයක මාධ්‍යයට ප‍්‍රකාශ කළාය. ඇය කියන ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 අවුරුද්දේ දී ලෝකයේ සිදුවන සංවර්ධනය ජනතාවගේ සතුට ඇති කරන්නට හේතු විය යුතු බව සඳහන් කර තිබේ. සියලූම රටවල් ප‍්‍රයත්න දරන්නේ සිය පුරවැසියන් සතුටින් තබන්නට වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය එකී අරමුණ පෙරදැරිව ක‍්‍රියා කරන බව සඳහන් කර ඇත.

ඇමැතිනිය සිය සැලසුම අනුව ආණ්ඩුවේ ආයතන වලින් සතුටු නිලධාරීන් වශයෙන් ක‍්‍රියා කරන්නට කැමැති කණ්ඩායමක් තෝරා ගෙන තිබේ. මෙම පිරිස අතරින් හැට දෙනෙකුට ජනතාව තේරුම්ගෙන ඔවුන්ගේ සතුට දනවන අන්දමට වැඩ කරන්නට පුහුණුවක් දෙන්නට තීරණය කර ඇත. ලබන සැප්තැම්බර් මාසයේ දී මෙම කණ්ඩායම ඇමරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ පුහුණුවකට යවන්නට නියමිතය. ලෝකයේ සතුටු සහගත රටක් වශයෙන් පවතින්නට එක්සත් අරාබි එමීර් රාජ්‍ය දරන ප‍්‍රයත්නය දෙස ජාත්‍යන්තර ප‍්‍රජාව  උනන්දුවෙන් බලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය එකිනෙකට වෙනස් දත්ත පදනම් කරගෙන ලෝකයේ සතුටුදායක රටවල් සම්බන්ධ ලේඛනයක් ප‍්‍රකාශයට පත් කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි 28 වැනි තැන පසුවන අතර 2016 වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව පසුවන්නේ 117 වැනි ස්ථානයේය.

ශ‍්‍රී ලංකාවේ රට වැසියන් ආගන්තුක සත්කාරයෙන් ඉහළ බව ජාත්‍යන්තර පිලිගැනීමයි. නිතර සිනහ මුවින් සිටින ඔවුන් ආගම දහමට ලැදියාවක් දක්වති. ආයුබෝවන් කියා හදවතින්ම සුබ පතන්නට කැමැති බව රහසක් නොවේ. එවැනි රටක ජනතාව සතුටු සහගත ලේඛනයේ රටවල් 156 ක් අතරින් අග කෙළවරට පැමිණීම විමසා බලන්නට සුදුසුය.

ලෝකයේ ප‍්‍රථම සතුටු ඇමැතිනිය පත් කරන්නේ එරට තරුණ මහජන නියෝජිතයන්ට මෙතෙක් පැවැති රාමුවෙන් වෙනස් අන්දමකට ස්වකීය ජනතාව දෙස බලන්නට ඉඩකඩ සලසමින්ය. රට පාලනය කිරීම කෙළවරක් නැති ගැටලූ විසඳීමේ කාර්යයක් පමණක් නොව එහි අවසානයේ දී රටවැසියන් සතුටින් තෘප්තියෙන් ජීවත් කිරීමක් බව තේරුම් ගැනීම ඉතාම වැදගත් බව සඳහන් කිරීම සුදුසුය.