milinda-prashna

2016/07/27 – ලංකාදීප

එන්රිකේ පෙඤා නියේටෝ  මෙක්සිකෝ ජනාධිපතිවරයාය. පසුගියදා තමන්ට සමාව දෙන්නැයි හෙතෙම එරට වැසියන්ගෙන් අවංකව සහ හෘදයාංගමව සමාවෙන්නැයි ඉල්ලා සිටියේය. මෙක්සිකෝව විශාලත්වය අතින් ලෝකයේ රටවල් අතර දහතුන් වැනි ස්ථානය උසුලයි. එහි ජනගහනය මිලියන 120 කට වැඩිය. ජනාධිපති එන්රිකේ සමාව ඉල්ලන්නේ ඔහුගේ බිරිදට එරෙහිව නැගුණ චෝදනාවක් සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි.

මෙක්සිකෝ ජනාධිපති ආර්යාව මෙයින් අවුරුදු එකහමාරකට පමණ කලින් නිවසක් මිල දී ගෙන තිබේ. එයට ගෙවන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන හතකි. මෙම මුදල වාරික වශයෙන් ගෙවන්නට ගනුදෙනුව සිදුවී ඇත. ඇය පසුව ප‍්‍රකාශ කර ඇත්තේ රගපැමෙන් උපයා ගත් ධනයෙන් මෙම වත්කම මිල දී ගන්නට හැකියාව ලැබුණ බවය. ජනාධිපති බිරිද ඇන්ජෙලිකා කාලයක් නාට්‍ය වල රගපා තිබේ. නමුත් චෝදනාව නම්, මෙම නිවස මිල දී ගන්නේ මෙක්සිකෝ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් කරන එක්තරා සමාගමකින් වන අතර එය මිලදී ගැනීමේ දී වට්ටමක් ලබා ගෙන ඇති බවය.

ලෝකයේ දේශපලනඥයන් හැසිරෙන ආකාරය බෙහෙවින් වෙනස්ය. ජනතාව හමුවට ගොස් ඡන්දය ඉල්ලන කාල වකවානුවේ ඔවුහු ඉතා සරල ජීවිත ගතකරන්නෝ වෙති. ජීවනෝපාය අසාමාන්‍ය එකක් වෙන්නේ නැත. සාමාන්‍ය ජනතාව අතර ගැවසෙන, ඔවුන්ට දැනෙන ආකාරයේම ජීවිත ගත කරන දේශපාලනඥයෝ බලය ලැබුණ වහා හැසිරෙන අන්දම ගැන ජාත්‍යන්තරයෙන් ලැබෙන වාර්තා එමටය. මේවායේ කියැවෙන්නේ සිත සතුටු කරන දේ නොවේ. අති විශාල දුෂණ, වංචා සහ අපරාධ ගැනය. බලය උපයෝගී කරගෙන අති විශාල වශයෙන් ධනය උපයා ගන්නා දේශපාලනඥයන් එයින් අප‍්‍රමාණ සැපවත් ජීවිතයකට මග පාදා ගන්නේ පොදු ජනතාව ගැන එපමණ අවධානයට නොගනිමින් බව ප‍්‍රකටය.

එන්රිකේ ජනාධිපතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ මෙවැනි පසුබිමක් ලෝක දේශපාලනය තුළ ප‍්‍රකටව, ප‍්‍රබලව නැගෙන අවස්ථාවකය.  එපමණක් නොව දුෂණ වීරෝධී නව නීති රීති මෙක්සිකෝ රට තුළ බලපවත්වන වකවානුවකය.මෙම දේපොල මිල දී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලද අතර එහි දී අනාවරණය වෙන්නේ වරදක් සිදුවී නැති බවය. නීතිය ඉදිරියේ දී ජනාධිපති එන්රිකේ සහ බිරිද  ඇන්ජෙලිකා නිර්දෝෂී නමුත් ජනාධිපතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ එය එපමණකටම බලවත් සිද්ධියක් වශයෙන් පැන නැගෙන හෙයින්ය.

2012 වසරේ දී පැවැති ජනාධිපතිවරණ්‍යට එන්රිකේ ඉදිරිපත් වෙන්නේ සමාජය තුළ මහත් බලාපොරොත්තු ඇති කරමින්ය. ආර්ථිකය වර්ධනය කර රැකී රක්ෂා බහුල කරන බවට පොරොන්දු දෙන අතර එය වෙනුවෙන් පුද්ගලික අංශයට අලූත් අවස්ථා ඇති කරන බව ද සදහන් කරයි. ජනාධිපති ධුරයට පත් වෙන්නට කලින් මෙක්සිකෝ නගරයේ නගරාධිපති වශයෙන් කටයුතු කරන ලද හෙතෙම සංවර්ධන ව්‍යාපෘති විශාල ප‍්‍රමාණයක් දියත් කරමින් වැඩිම ක‍්‍රියාශීලි සංවර්ධනයක් පෙන්වන ලද පුද්ගලයෙකු වශයෙන් සමාජය තුළ නමක් තහවුරු කරගනී. රටේ නායකත්වයට මග පාදාගන්නේ එහි සමත්කම් බව සදහන් කිරීම අවශ්‍යය.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු වල දී ද, දුෂණ වංචා වලින් තොර යහපත් රටක් ඇති කරන බලාපොරොත්තු මෙක්සිකෝ වැසියන් තුළ ඇති කරයි. නමුත් එන්රිකේ ඡන්දය ඉල්ලන්නේ ඔහු නියෝජනය කරන ලද දේශපාලන පක්ෂයේ නරක අතීතය ජනතාවට මතක ඇති පසුබිමකය.  පි.ආර්.අයි පක්ෂය දුෂණ වල සංකේතයවූ අතර ආර්ථික කළමණාකරණයේ දුර්වලතා, මැතිවරණ වංචා ගැන අපකීර්තියක් හිමි පක්ෂයකි. එකී සියලූ අතීත තත්ත්ව අමතක කරන තැනට ජනතාව අතර සිත්ගත් චරිතයක් බවට පත්වන්නේ එන්රිකේ ගේ අපේක්ෂකත්වය පෙන්වන අලූත් දැක්මයි. අද වන විට හෙතෙම අභියෝගයට ලක්ව සිටිනු පමණක් නොව ජනතාවගෙන් සමාව ගන්නට සිදුවී ඇත. දේශපාලන නායකයන්ගේ අරමුණු සහ ගමන්මග ගැන විවිධ පැතිවලින් හිතන්නට මෙම සිද්ධිය ඉවහල් කරගත හැකිය.