milinda-prashna

2016.07.13 – ලංකාදීප‍

බි‍්‍රතාන්‍ය ජාතික ඇන්ඩි මරේ මෙවර ව්ම්බල්ඩන් ටෙනිස් ලෝක ශූරතාව දිනා ගත්තේය.  ලන්ඩන් නගරයේ ජීවත්වන හෙතෙම දෙවැනි වතාවටත් ටෙනිස් ශූරතාවය දිනාගත් පසු මහා බි‍්‍රතාන්‍යයේ ඉතාමත් ජනප‍්‍රිය චරිතය බවට පත්ව සිටී. විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. සම්ප‍්‍රදාය ආරක්ෂා කරගැනීම ගැන ඇත්තේ එයට වඩා ප‍්‍රබල පසුබිමකි. 1877දී ආරම්භ වූ මෙම ටෙනිස් තරගාවලිය අද දක්වා පවත්වාගෙන යන්නේ එහි ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්ගේ ඇඳුම පැළඳුම, ආහාර පාන පමණක් නොව අනුග‍්‍රාහකත්වය සම්බන්ධව ද පවතින තද විනය සහිතවය.  තරග පවා කාන්තා සහ පිරිමි වශයෙන් නොව මහත්වරුන්ගේ සහ නෝනා මහත්වරුන්ගේ වශයෙන් නම්කරන අතර අවසාන මහා තරගය පැවැත්වෙන අවස්ථාව රජ පවුලේ නියෝජනය ද සහිතව සිදු කෙරේ.

බී.බී.සී. වාර්තාකරු ටෙනිස් ශූරතාවය 2013 දී සහ නැවතත් 2016 අවුරුද්දේ දී දිනා අතිශය ජනාදරයට පත් ඇන්ඩි මරේ ගෙන් බි‍්‍රතාන්‍ය අගමැති ධුරයට ඇති කැමැත්ත ප‍්‍රශ්න කළේය. අවසන් මහා තරගය නරඹන්නට පැමිණ සිටි ක‍්‍රීඩා ලෝලීන් ගේ ප‍්‍රතිචාර මැද වාර්තාකරු සමග කතා කරන හෙතෙම ‘‘ටෙනිස් තරගාවලිය ජය ගැනීම තද වෙහෙසකර එකක්’’ බව කියා සිටි අතර ‘‘තමන් අගමැති තනතුරට කොහෙත්ම කැමැත්තක් නැති බව’’ කියා සිටියේය. එපමණක් නොව මෙම ලෝක ශූරයා කියන්නේ එය ‘‘තමන්ට කළ නොහැකි රස්සාවක් ’’ බවය.

බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් එම ප‍්‍රකාශය කරන විට රාජකීය නැරඹුම් මැදිරියේ සිටි අතර මෙම විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අවසාන මහා තරගය නරඹන්නේ ඔහුගේ මැණියන් සමගය. එයින් ටික වේලාවකට කලින් අගමැතිවරයා ගැන කියන විට මෙම තරගය නරඹන්නට පැමිණ සිටි ජනී ජනයා විම්බල්ඩන් තරගාවලියේ අද්විතීය සම්ප‍්‍රදාය පැත්තකින් තබා හූ කියන්නට පටන් ගත් බව මෙහි දී සඳහන් කළ යුතුය.

අගමැති ධුරය භාරධුර එකකි. විශේෂයෙන් මහා බි‍්‍රතාන්‍යයේ අගමැති තනතුර අසමාන තනතුරකි. විම්බල්ඩන් ටෙනිස් ලෝක ශූර ඇන්ඩි මරේ එය තමන්ට කරන්නට බැරි එකක් බව පිළිගනී. නමුත් තරගය නරඹන්නට පැමිණි ජනකාය අතරින් කොටසකට අගමැතිවරයා සමච්චලයට ලක්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මහා බි‍්‍රතාන්‍ය සලකන්නේ සම්ප‍්‍රදායට ගරු කරන රටක් වශයෙන්ය. ලන්ඩන් හි දී වඩා සම්ප‍්‍රදායී ටෙනිස් තරගාවලිය පැවැත්වෙන විට එරට වැසියන් සම්ප‍්‍රදාය පැත්තකින් තබා අගමැති කැමරන් වෙත අප‍්‍රසාදය පළ කරන්නේ ඒ තරමටම සංකීර්ණ ස්වභාවයක් මතු කරමින්ය.

මෙම සිදුවීම තුළින් පෙන්වන වැදගත්ම කාරණය ජනතාව පරිවර්තනය වී ඇති අන්දමයි. නූතන සමාජ භාවිතාව සහ මාධ්‍ය ව්‍යුහය අනුව පැලැන්ති අතර පරතරය නැතිවී තිබේ. සම්ප‍්‍රදායික බලවත්කම් යටපත් කරන්නට සමාජ මාධ්‍ය සමත්ව ඇත. නායකයන් ගේ හැසිරීම, ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් සෘජුව අදහස් පළ කරන්නට සමත් පිරිසක් ඉදිරියට එමින් සිටී. ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම සම්බන්ධව තියුණු තත්ත්වයක් උදාවී ඇත්තේ මේ සමගය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ඇති රටක සියලූම මිනිසුන්ට ගැලපෙන තීරණ ගන්නේ කෙසේද? තීරණය තමන්ට ගැලපෙන පරිදි ගන්නා විට නායයකත්වය ප‍්‍රශංසාවට ලක්වන නමුත් තවත් පිරිසක් එහි අනෙක් පැත්ත දකින්නේ ඉතාම නරක පාලකයෙකු බව විවේචනය කරමින්ය.

දැවැන්ත ප‍්‍රතිරූප සහිතව මහා ජන ප‍්‍රසාදයකින් බලයට පත්වන නායකයන්ට ඉතාමත් කෙටි කාලයකින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කරනු නොහැකිව අප‍්‍රසාදයට පත්වෙන්නට සිදුවෙයි.  දේශපාලන නායකයන් පමණක් නොව පොදු ජනතාව ද අද සිදුවෙමින් පවතින සංකීර්ණ ව්‍යුහය දෙස අලූත් පැත්තකින් බලන්නට අවශ්‍යය. ඔසවා තැබීම පමණක් නොව එයටත් වඩා ඉක්මනින් පිරිහීම කැදවන විට රටක නායකත්වය භාරගන්නට ඇන්ඩි මරේ වැනි ලෝක ශූරයක් පමණක් නොව කිසිවෙකු ඉදිරිපත් නොවෙන්නට ඉඩ තිබේ.