milinda-prashna

2016/07/06 – ලංකාදීප

ජනතාව නගර කරා සංක‍්‍රමණයවීම ඉතිහාසයේ සිට සිදුවන එකකි. ජනතාව නගර කරා පැමිණෙන විට එය සංවිධානාත්මක තැනක් බවට පත් කිරීම අවශ්‍යය. පොදු පහසුකම් සංවිධානය කර නිසි කළමණාකරනයක් ඇති නොකළහොත් ජනාකීර්ණ නගරයක් අතිශය කර්කශ ස්ථානයක් බවට පත්වීම වැලැක්විය නොහැකිය.

නගර සහ රටවල් ගොඩනැගූ බවට ලියැවෙන්නේ දේශපාලනඥයන්ගේ නමටය. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයයි. නමුත් නිලධාරීන් ඉටු කරන කාර්ය භාරයක් ද තිබේ.  නගරයක අඩුපාඩු බලා පුලූල් දැක්මක් ඇතිව සැලසුම් කිරීම පහසු නැත. විශේෂයෙන් දේශපාලන නායකයන් ජනතා කැමැත්ත වෙනුවෙන් ක‍්‍රියා කරන පසුබිමක තමන්ට අනන්‍ය ලෙස නගරයක් හදන්නට මහන්සි වූ නිලධාරීහු චරිත බවට පත්ව තිබේ.

රොබට් මොසස් එවැනි චරිතයකි. ඇමරිකාවේ නිව්යෝක් නගරය අදට ගැලපෙන සේ සැලසුම් කිරීම ලියැවී ඇත්තේ ඔහුගේ නමටය. නිව්යෝක් නගරය විසි වැනි සියවසේ මැද සැලසුම් කරන විශිෂ්ඨ  බව අද ඇගයුමට ලක්ව ඇත. සෑම පුරවැසියෙකුටම වාහනයක් පාවිච්චි කරන්නට ඇති අයිතිය තහවුරු කරන පමණක් නොව එම වාහන නගරය පුරා බාධාවකින් තොරව ගමන් කරන්නට හැකි වන සේ නගරය සැලසුම් කළේය. විශාල උද්‍යාන ඉදිකරන ලද අතර පුලූල් මාර්ග පද්ධතිය තදබදය අවම කරන ලද්දේය. දේශපාලනඥයන්ට සාමාන්‍යයෙන් තිබුණේ ඊළඟ මැතිවරණය තෙක් ජනප‍්‍රියත්වය රැක ගන්නා තීරණ ගැනීමේ ප‍්‍රතිපත්තියකි. නමුත් මොසස් දිග බලා තීරණ ගත්තේය. නිව්යෝක් නගරය විසි එක්වැනි සියවසට ගැලපෙන පරිදි නිර්මාණය කිරීමේ දී ඔහු දක්වන ලද දක්ෂතාවය පමණක් නොව එම කාලය තුළ එකිනෙකට වෙනස් තනතුරු දරමින් තිරණ ගැනීම ද ඔහු ගෞරවයට පාත‍්‍ර කරන්නට හේතු වී  තිබේ. නිව්යෝක් නගරය පාලනය කරග ලද ඡන්දයෙන් පත්වූ දේශපාලනඥයන්ට උවමනා දේ සම්පාදනය කරන අතර අලූත් සැලසුම් ඔහුගේ අනන්‍යතාවයට අනුව සකස් කිරීම අදටත් කතාබහට ලක්වන කාරණයක් වී ඇති බව බව සඳහන් කිරීම අවශ්‍යය.

පසුගිය දා බංගලාදේශයේ රජ්සාහි නගරය  ජන හිත සුව තැනක් බවට පත් කරන ලද ඉංජිනේරුවරයෙකු ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. අශ්රෆුල් හක් නමැති හෙතෙම අවුරුදු දෙකක් තුළ නගරය තිබුණ අපිරිසිදු සහ අක‍්‍රමවත් බව තුරන් කර පිරිසිදු හුස්ම ගන්නට හැකි තැනක් බවට පත් කරන ලද බව අනාවරණය වෙයි. අධික දුම් පිටකරන වාහන තහනම් කර චීනයෙන් ආනයනය කරන ලද බැටරි වලින් ධාවනය වන කුලී රිය භාවිතා කරන්නට පොළඹවා ඇති අතර එය ආකර්ශණීය තීරණයකි.

රොබට් මොසස් එදා කරන ලද දේ පමණක් නොව අශ්රෆුල් හක් වර්තමානයේ මෙහෙයවන ලද ආකාරය ද පැසසුමට ලක්වන අතර දේශපාලනඥයන්ගේ තීරණ අභිබවා නිලධාරීන්ගේ ගමන නගර වල ජීවත්වන වැසියන්ගේ ජීවිත යහපත් කරන්නට හේතු වූ බව දක්වයි.

ශ‍්‍රී ලංකාවේ නගර, සුළු නගර පමණක් නොව ප‍්‍රාදේශීය සභා පරිපාලනය විශේෂ කොමසාරිස්වරුන් අතට පත්ව තිබේ. මැතිවරණ ක‍්‍රම සංශෝධනය වෙනුවෙන් ඉඩ සකස් කරගන්නා තෙක් දේශපාලනයේ නිරත මහජන නියෝජිතයන්ට පලාත් පාලන ආයතන වල බලපෑම අඩු මෙම වකවනුව අලූත් දේ ගැන හිතන්නට සුදුසු අවකාශයකි. නිලධාරීන්ට ද පොදු ජනතාව ගැන වගකීමක් තිබේ. ජන ජීවිතය යහපත් කරන්නට පෙළැඹවීමක් කළ හැකිය. නිව්යෝක් නගරයෙන් පමණක් නොව බංගලා දේශයේ රජ්සාහි නගරය ද සාක්ෂාත් කරන්නේ එයයි.