milinda-prashna

2016/06/22 – ලංකාදීප

බි‍්‍රතාන්‍ය පාසල් අධ්‍යාපනය අලලා කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල නිකුත්ව තිබේ. මෙම සමීක්ෂණය පවත්වන්නේ බලාපොරොත්තු වූ පාසලට දරුවන් ඇතුලත් කිරීමට ලැබුණේ ද යන්න ගැනය. එහි ප‍්‍රතිඵල අනුව බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් සියයට අසූ හතරක ප‍්‍රතිශතයක් තමන් බලාපොරොත්තුවෙන් සිටි පාසලට තම දරුවා ඇතුලත් කරන්නට ලැබුණ බව ප‍්‍රකාශ කර තිබේ. දෙමව්පියන් ගේ උපරිම උත්සාහය තම දරුවා තමන්ට වඩා ඉහළින් තබන්නටය. හොඳ පාසලක් තෝරා ගන්නට උත්සාහ කරන්නේ එහි එක් පියවරක් වශයෙනි.

මෙම සමීක්ෂණය ශ‍්‍රී ලංකාවේ පැවැත්වූවා නම් ලැබෙන ප‍්‍රතිඵලය කුමක් විය හැකිද? මෙයට හාත්පසින්ම වෙනස් එකක් බව නිසැකය. අලූතින් පළමු වසරට පාසලට ඇතුලත් වෙන දරුවන් සඳහා අයැදුම් පත් යොමු කරන කාලය උදා වී තිබේ. දෙමව්පියන් අයැදුම් පත් සකස් කරගෙන ඒවා නීත්‍යාත්‍යානුකූලව යොමු කරමින් සිටින අතර බහුතරයක් කරන්නේ කෙසේ හෝ හොඳ පාසලකට දරුවා යොමු කරන්නට හැකි ඕනෑම පියවරකට මහන්සිවීමයි. නමුත් අවසානයේ දෙමව්පියන් අතෘප්තිමත්ය. පාසලට දරුවා ඇතුලත් කරන ලේඛනයේ ඇතුලත් කරන ලද පාසට වඩා සහ මුලින්ම වෙනස් අපේක්ෂා නොකළ පාසලකට දරුවා ඇතුලත් කර සතුටු වෙන්නට මෙරට පුරවැසියන්ට සිදුවී තිබේ. එය බලවත් පීඩනයක් වෙන විට උද්ඝොෂණ ඇති වෙයි. විරෝධතා පමණක් නොව බලධාරීන්ට තර්ජන එල්ල කරන අවස්ථා ද ඇත.

අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් නමුත් කොතැනක හෝ පාසලකට දරුවා යොමුකර එය සාක්ෂාත් වූ බව සඳහන් කිරීම යුක්ති සහගත දැයි ප‍්‍රශ්න කරන්නට කාලය උදා වී තිබේ.

ප‍්‍රතිපත්ති සම්පාදකයන් ගේ අදහස පදිංචි බල ප‍්‍රදේශය තුළ පාසලකට දරුවන් ඇතුල් කරන්නට දෙමාපියන් පෙළැඹවීඹයි. නමුත් සියලූම දෙමව්පියන්ගේ කැමැත්ත තමන්ගේ දරුවන් ජාතික පාසලකට ඇතුලත් කිරීමය. අධ්‍යාපනයට වඩා යමක් උපයා ගැනීමට එයින් පසුබිම හැදෙන බව ඔවුන් ගේ අපේක්ෂාවයි. කුඩා දරුවන්ට මෙම උවමනාව ගැන තද හැඟීමක් නැත.දෙමව්පියන්ගේ ජාතික පාසල් උවමනාව රට තුළ වෙනම සංස්කෘතියක් නිර්මාණය කර තිබේ. දේශපාලනඥයන්, අතරමැදියන් සම්බන්ධ වන ධනය හා බලය හුවමාරු වෙන බලවත් ව්‍යායාමයකි. විදුහල්පතිවරු, ගුරුවරු පමණක් නොව ආදි ශිෂ්‍ය සංගම් ද බලය ඇති ප‍්‍රභව බවට පත්ව ඇත.

දරුවන් ඇතුලත් වන පාසල සම්බන්ධ ගැටලූවට දෙමව්පියන් එකඟවන උත්තරයක් හදන්නේ කෙසේද? එය පහසු නැත. නමුත් විසඳුමක් සොයා ගත යුතු ගැටලූවකි. එම විසඳුම තුළ මෙරට පෙරවරුවේ සහ පස්වරුවේ අධික වාහන තදබදය විසඳිය හැකිය. දරුවන්ගේ පෝෂණ මට්ටම ගැන විසඳුමක් තිබේ. අධ්‍යාපනයේ පවතින උග‍්‍ර තරඟය වෙනස් කර දරුවා තේරුම් ගෙන හැකියාව අනුව ඉගෙනුමට ඉට දෙන ව්‍යුහයක් සකස් කරන්නට හැකියාව ඇත.

පාසල් වල පවතින ව්‍යුහය වෙනස් කරන්නට පමණක් නොව ඒවායේ සම්පත් ගැන වෙනස් ආකරයකට ක‍්‍රියා කරන්නට අවශ්‍ය අතර ඉතාමත් වැදගත් වෙන්නේ සමාන අවස්ථා අපයා ගත හැකි පසුබිමක් පාසල් අධ්‍යාපනයේ සිට තහවුරු කිරීමය. ජාතික පාසලට යන දරුවාට වඩා සැලකිලි ලැබෙන බවට සමාජ විශ්වාසයක් පවතින තාක්කල් එය කරන්නට නොහැකිය.

මෙරට අධ්‍යාපනය සම්බන්ධ අතෘප්තිය සහ තරඟකාරීත්වය සම්බන්ධයෙන් පරම්පාරා ගණනක් වන්දි ගෙවා තිබේ. නිවැරදි කරන්නට නම් දෙමාපියන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර දීර්ඝ සංවාදයකට මග පාදා ගැනීම සුදුසුය. බලාපොරොත්තු වූ පාසලට දරුවන් ඇතුලත් කිරීමට ලැබුණේ ද යන්න ගැන සමීක්ෂණයකින් විමසා බලා අපේ්ක්ෂා කරන විසඳුම ප‍්‍රජාව තුළින් හඳුනා ගැනීමට උත්සාහ කිරීම වැඩදායකය.