milinda-prashna

2016/04/06 – ලංකාදීප

අලූත් අවුරුද්ද සංස්කෘතික උත්සවයකි. සෞභාග්‍යය එහි ඉතාම වැදගත් කාරණාවයි. අස්වැන්න ලබා ගැනීමෙන් පසු අටු කොටු පුරවා ගන්නා පුරවැසියෝ තෘප්තියෙන් පසුවෙති. නැවත ගොවි බිම් අස්වද්දන අතර හිත් සතුටින් ජීවත්වන ඔවුන්ට සූර්යයා ගේ ගමන සැලකිය යුතු කාරණාවකි. මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන අවස්ථාව වැදගත් එකකි. ජන ජීවිතය අලූතින් පටන් ගන්නට පමණක් නොව නැවුම් ආකාරයකින් අලූත් ආරම්භයක් සඳහා භාග්‍යවන්ත මාසය පසුබිම සකස් කරයි.

විමර්ශණශීලීව බලන විට අවුරුදු කාල සිමාව අවුරුදු උදාව තුළ කළමණාකරනය තිබේ. එය ඉතාම වැදගත් සංකල්පයකි. නැකැත සහ  චාරිත‍්‍ර වාරිත‍්‍ර මගින් අනාවරණය කරන්නේ කණ්ඩායම් හැඟීමයි. පිළිවෙලකට අනුගතවීම තුළ සුවිශේෂී ආකාරයකට දක්වන්නේ තවත් අවුරුද්දක් සැලසුම් කරන අන්දමය.

එවැනි ප‍්‍රවේශයක් අධ්‍යයනය කළ හැකි වකවානුවක තවත් සිංහල සහ දෙමල අලූත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. නමුත් මෙකල පරිසරය වියලිය. කොහා ගේ සුපුරුදු නාදය ඇහෙන්නේ වියලි සුළඟ තුළ දැවටෙමින්ය. එසේ තිබිය දී නගරයේ සීත කාමරවල සිට ස්වකීය ශ‍්‍රාවකයන්ට ලෙන්ගතුව කතා කරන ගුවන් විදුලි නාලිකා වල කොහාගේ නාදය ඉතා ප‍්‍රාණවත්ය. රූපවාහිනී ජාල තුළ සශ‍්‍රීක පක්ෂියෙකු වශයෙන් කොහා සිය නාදය ඉදිරිපත් කරන්නේ වර්ණවත් තිරයකය. එය සුමුදු, මනමෝහණීය  පණිවුඩයකි. අවුරුදු සම්ප‍්‍රාප්තිය ගැන එම සන්නිවේදනය පටන් ගත්තේ බක් මාසය උදා වෙන්නටත් කලින්ය.

තොරතුරු සන්නිවේදන ජාලා අවුරුද්ද ගැන කතා කරන්නේ සංස්කෘතික අනන්‍යතාවයක් වශයෙන් නොවේ. ව්‍යාපාරික ප‍්‍රජාව ඉලක්ක කරන පිරිවැටුම සාක්ෂාත් කරදෙන්නට අත් උදවු දෙන ව්‍යුහයක් වශයෙනි. අවුරුදු සමරන්නට සූදානම් වන ජනතාවට මිල දී ගත හැකි දේ පමණක් නොව හීනයෙන් වත් මිලදී ගත හැකියැයි හිතන්නට නොහැකි දේ පවා නිවසටම ගෙනැවිත් අළෙවිකරන්නට මෙම වානිජ ප‍්‍රවාහය ඉත සිතින් සූදානම්ය. මිල දී ගන්නට ධනය ඇති ප‍්‍රජාව සහ ඒවා පරිභෝජනය කරන්නට වත්කමක් ඇති පිරිස එයින් සතුටු වෙති. නගරයෙන් ගමට යන පිරිස හැකිතාක් දේ එකතු කරගෙන අතර ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් දරයි. අප‍්‍රියෙල් මාසය යනු ලබාගැනීමට නොහැකි පිරිස ණය වී තැවෙන කාල වකවානුවකි. ව්‍යාපාරික අංශ තමන්ගේ ලාභ තර කරගන්නට අවස්ථාව උදා කරගන්නා සමයකි.

අවුරුදු දින දෙක තුළ අති විශාල වෙළඳාමක් සිදුවෙයි. ඇඳුම්, එලවලූ, පලතුරු, රස කැවිලි, මස් මාලූ සහ මත් පැන් යනා දී වශයෙන් ඒවා අතරින් සමහරක් නම් කරන්නට හැකියාවක් තිබේ. සාමාන්‍යයෙන් නිවෙසකට මිල දී ගන්නා ප‍්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් මිල දී ගන්නට ජනතාව පෙළැඹෙති. එවැනි ප‍්‍රවේශයකට අවතීර්ණ වෙන්නේ අත ඇති ධනයෙන් පමණක් නොවේ. ඉදිරි මාස ගණන තුළ ජීවත් වෙන්නට ලැබෙන ආදායමෙන් කොටසක් ණය වශයෙන් ලබා ගෙන බව සඳහන් කළ යුතුව තිබේ. එවැනි මිල දී ගැනීමක් කරන්නේ පවුලේ පරිභෝජනය වෙනුවෙන් පමණක් නොවේ. අවුරුද්දට නැගම් එන හිත මිතුරන් ඥාතීන් සලකා බලමින්ය.

අවුරුද්දට නෑගම් යන සෑම නිවෙසකම කෑම මේසය එකම ආකාරයේ ආහාර පාන වලින් පොහොසත්ය තෙල්, සීනි බහුල ආහාර පමණක් නොව මත් පැන්, දුම් වැටි යනාදී වශයෙන් ද නරක දේ දෙන්නේ සතුටින්, ප‍්‍රමෝදයෙන්ය. ඒවා අනුභව කරන්නට පොළඹවන අතර නොකා නොබී ගැලවෙන්නට නම් කිසිම හැකියාවක් නැත.

අවුරුදු සමරන සෑම නිවෙසකම අත ඇති සියලූම දේ එකතු කර මිල දී ගන්නා දේ අවුරුදු අවසන් වන විට ඉතිරි වෙයි. පරිභෝජනය කරන්නට නොහැකි සේ නරක් වී ඉවත දමන්නට සිදුවෙයි. කැවුම් කෙසෙල් වල සිට බත් මාලූ පිණි දක්වා දේ මෙසේ ඉවතට හැලේ. අවුරුදු සතුට දින දෙක තුනකින් අවසන් වන විට කොහා ගේ නාදය වැළපීමක් වන අතර එතෙක් අවුරුද්ද ගැන උද්දාමයෙන් සිටි මාධ්‍ය නාලිකා වෙසක් මාසය උත්කර්ශවත් කරන්නට සූදානම් වෙයි.

අලූත් අවුරුද්දේ අර්ථය හඳුනාගන්නට අවශ්‍යය. අවුරුදු අසිරිය සැනසිල්ලෙන් භුක්ති විඳින්නට සූදානමක් තිබිය යුතුය. අවසානයේ දී අප සියලූම දෙනාට අවුරුද්ද කළමණාකරණය කරගන්නට හැකියාවක් තිබීම වැදගත්ය. දරු පවුලට තමන්ගේ ආර්ථිකය සහ උවමනාව අනුව අවුරුදු සමරන්නට හැකියාව තිබේනම් සහ එය ඵලදායී ආකාරයකට කළහැකි නම් අලූත් අවුරුද්ද තුළ පැවතිය යුතු දර්ශනය එයයි.  අලූත් අවුරුද්දට සූදානම් වන අප සියලූම දෙනාට අවුරුද්දට කලින් මෙම කාරණා ගැන අවධානය යොමු කරන්නට හැකිනම් වැදගත්ය. වානිජ සමාජය තුළ අවුරුද්ද සරල එකක් බවට පත්කරගන්නේ කෙසේද?