milinda-prashna

2016/03/23 – ලංකාදීප

මෙයින් දශකයකට දෙකකට කලින් දුරකථන කතා බහ ගාස්තු රහිත නිදහස් එකක් විය හැකි යැයි උපකල්පනය කළේ නැත. නමුත් අද ස්කයිප්, වයිබර් වැනි තාක්ෂණය උපයෝගී කරගෙන කරන කතා බහට මිල හෝ දේශසීමා බාධාවක් නැත. නිදහස්ය. විදුලිය බලය ගාස්තුවක් අය නොකර නිවසටම බෙදාදෙන එකක් විය හැකි යැයි සඳහන් කළහොත් එය පුදුමයට හේතුවනු ඇත.නමුත් තවත් අවුරුදු පනහකින් විදුලියට මිලක් අය නොකරන්නට ඉඩ තිබේ. වියදමක් නැති බලශක්ති උත්පාදනය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව පර්යේෂණ කරමින් සිටී. සූර්ය බලය, සුළඟ උපයෝගී කරගෙන විදුලිය නිපදවීම පමණක් නොව ගබඩා කිරීම ගැන අලූත් අදහස් සාකච්ඡා වෙමින් තිබේ. මෙම අදහස් සාක්ෂාත් වුවහොත් දුරකථන කතාබහ නොමිලේ සිදුවන ආකාරයට විදුලිය ද නොමිලේ ලැබෙන්නට බැරි නැත. එවැනි ඉලක්කයකට ගමන් කරන ස්වභාවය තුළ ශී‍්‍ර ලංකාවේ විදුලිය බල ක්ෂේත‍්‍රය තුළ සිදුවිය යුතු පරිවර්තනය කෙබදු එකක්ද?

විදුලිය බලය ජන ජීවිතයට කොපමණ වැදගත් ද යන්න සනාථ වූයේ පසුගිය දිනවල දීය. විදුලිය බලය බිඳවැටෙන විට එදිනෙදා ජන ජීවිතයට බාධා සිදුවූ අතර බලශක්තිය පැත්තෙන් පමණක් නොව විදුලිය උපයෝගි කරගෙන පවත්වාගෙන යන සේවා, නිෂ්පාදන සහ අනෙකුත් අංශ පත්වූයේ බලවත් අර්බුදයකටය.රටක් වශයෙන් ඉහළ මැදි ආදායම් ස්ථරයට ගමන් කරන විට විදුලිය වෙනුවෙන් ඇති ඉල්ලූම ඉහළ යයි. එයට සරිලන ආකාරයට සැපයුමක් කරන්නට අපොහොසත්වන විට ගැටලූ මතුවෙයි. විදුලිය සැපයීම සම්බන්ධව තාක්ෂණික ප‍්‍රශ්නය ඇතිවීම ද වැලැක්විය නොහැකිය. විදුලිය නිෂ්පාදනය වැඩි කිරීම සහ පාරිභෝගිකයාට වාසි සහගත ආකාරයට සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවතින අලූත් ව්‍යුහ කෙරෙහි සැලකිල්ලක් දැක්වීම මෙම තත්ත්වයට කෙටි කාලීන පමණක් නොව දීර්ඝ කාලීන උත්තරයක් වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ විදුලිය පිරිවැය අඩු ආකාරයකට ජල බලයෙන් නිෂ්පාදනය කළ හැකි උපරිම සීමාවට ළඟාවී තිබේ. දශක තුනකට පමණ කලින් විදුලිය බලාගාර වල භාවිතා කරන ලද ටර්බයින් වලට වඩා දියුණු මෙවලම් සහිතව තාක්ෂණය දැන් භාවිතාවෙයි. එවැනි පියවර සහිතව ජල විදුලිය බලාගාර අලූත් වැඩියා කළ යුතුව තිබේ. ජල විදුලිය හැරුණ විට ශ‍්‍රී ලංකාවට අඩුම පිරිවැයකින් විදුලිය නිපදවිය හැකි අවස්ථා වශයෙන් සූර්ය බලය සහ සුළඟ ගැන සඳහන් වන නමුත් වර්තමානයේ ඒ වෙනුවෙන් ආයෝජනය සීමා සහිතය. දැවිතෙල් සහ ගල් අඟුරු වලින් විදුලිය නිපදවීම කෙරෙහි ශ‍්‍රී ලංකාව වැඩි අවධානයක් දක්වයි. එය වියදම් අධික සහ පරිසරයට නොගැලපෙන එකකි. පවතින රාමුවෙන් වෙනස් වී විදුලිය නිපදවීම සම්බන්ධ තීරණ ගැනීම ආණ්ඩුවක ප‍්‍රතිපත්ති සම්බන්ධ කාරණයකි. නිපදවන විදුලිය වෙනුවෙන් කරන පිරිවැය අඩු කර ගැනීම පමණක් නොව විදුලිය අඩුම ගාස්තුවකට පාරිභෝගිකයා අතට පත් කිරීම ද ඉතාම වැදගත්ය. එය කළ හැකි වන්නේ තරගකාරී ආකාරයට ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණකි. විදුලිය නිපදවීම රාජ්‍ය පුද්ගලික අංශ අතර තරඟයකට යොමු කළ හැකි අතර වඩා අඩු වියදමකින් විදුලිය නිපදවන විට එහි වාසිය ලැබෙන්නේ රටට සහ පාරිභෝගික ජනතාවටය.

ඛනිජ තෙල් සම්බන්ධයෙන් ද රටට තිබුණේ ඒකාධිකාරයකි. ඉන්දියානු සමාගමක් මෙරට ආයෝජනයට කැඳවීම තුළ එහි පරිවර්තනයක් සිදුවිය. ටෙලිකොම් අංශය තුළ සිදුවූ වෙනස නොවේ නම් අද පවතින සන්නිවේදන පහසු සමාජය බිහිවෙන්නේ නැත. කොළඹ වරාය තුළ සමාගම් තුනක් තරඟකාරීව මෙහෙයැවෙන අතර එම තත්ත්වය නොවේ නම් කොළඹ වරාය අදටත් අකාර්යක්ෂම සහ ආර්ථික අවාසිදායක තැනකි. විදුලිය නිපදවීම, බෙදාහැරීම සහ අලෙවිය තරකාරීව කරන විට එහි වාසිය අත්පත්වන්නේ ජනතාවටය. එය උසස් සේවය සහ ගෙවන මිල අඩු ස්වභාවයක් ඇති කර තිබේ. නවීන තාක්ෂණික ක‍්‍රම භාවිතා කර අඩු වියදමකින් විදුලිය නිපදවන හෙයින් වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයන්ටය. ශ‍්‍රී ලංකාවේ විදුලිය බලශක්ති අංශය ද අලූත් යුගයට ගැලපෙන ආකාරයට ප‍්‍රතිව්‍යුහගත කරන්නට මෙම අභියෝගාත්මක අවස්ථාව සුදුසු පරිසරයක් නිර්මාණය කර දී තිබේ.එකී අවකාශය තුළ විදුලි සංවර්ධන මාර්ග සිතියමක් ප‍්‍රකාශයට පත් කළ යුතු අතර නිශ්චිත සැලසුම් මගින් වියදම් අධික විදුලි උත්පාදනයට විකල්ප ප‍්‍රභව වශයෙන් සූර්ය සහ සුළං බලශක්තිය උපයෝගී කරගන්නා අන්දම සැලසුම් කිරීම සුදුසුය. ඉදිරි බලශක්ති අවශ්‍යතා වල සැලසුම, එහි ආයෝජනය සහ තරගකාරීත්ව ස්වභාවය රටට අනාවරණය කර සංවාදයකට ලක් කිරීම ඉතාම වැදගත්ය.