milinda-prashna

2016/03/16 – ලංකාදීප

කප්පම යන වචනයෙන් අඟවන්නේ බලහත්කාරයෙන් අයුතු ආකාරයට ධනය උපයා ගැනීමය. වර්තමාන ක‍්‍රමය තුළ කප්පම්කාර සමාජ ව්‍යුහයක් බිහිවී ඇති බව පෙනෙන්නට තිබේ. එය ඉතා නරක ස්වභාවයකි. පුද්ගලික බස් රථ සේවාව කප්පම් කල්ලි වලට ගොදුරු බව ප‍්‍රසිද්ධ කාරණයකි. නීත්‍යානුකූලව මගී ප‍්‍රවාහන සේවාවක් වශයෙන් රට තුළ කි‍්‍රියාත්මක නමුත් බස් ධාවනයේ දී පමණක් නොව ප‍්‍රධාන නැවතුම් පොල වල දී ද, අතරමැදි පුද්ගලයන්ට මුදල් ගෙවන්නට සිදුව තිබේ. මෙම කප්පම් වලට වන්දි ගෙවන්නේ මගී ජනතාවයි. අතරමැදියන්ට ගෙවන අනිසි පිරිවැය ඔහු පවරන්නේ බස් රථයේ ගමන් කරන මගීන් වෙත බව නොකියැවෙන කාරණයයි. කප්පම් කණ්ඩායම් වලට අයුතු ආකාරයට මුදල් ගෙවන්නට සිදුව ඇති බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

මෙම කප්පම ගෙවන්නේපාරිභෝගිකයන්ය.සේවයක් කරගන්නට, අවසරයක් ගන්නට පමණක් නොව ඕනෑම වැඩක් කරගන්නට අතයටින් මුදලක් දෙන්නට සිදුවීම බරපතල කාරණයකි. මෙම ගෙවන මුදල අවසානයේ දී සාමාන්‍ය පොදු ජනතාව ගෙවන වන්දියක් බවට පත්වීම එහි කණගාටුදායක පැත්තයි. පුද්ගලික බස් රථයක සිට ජන ජීවිතයට අදාල සියලූ අංශ වල කප්පම් ගැනීම සුලබව සිදුවන අතර ජනතාව මෙයට හුරු වී තිබේ. නීත්‍යානුකූලව සිදුවන කාර්ය පටිපාටිය ඉක්මවා අතරමැද කණ්ඩායම් ව්‍යුහය තුළට ප‍්‍රවේශ වන විට ඕනෑම රටක ආර්ථිකය අකාර්යක්ෂම එකක් බවට පත්වෙයි. ඇමරිකාවේ ප‍්‍රකට චිකාගෝ සංස්කෘතියෙන් සිදු වූයේ එයයි. පැවැත්මට බියක්, හිරිහැරයක් ඇති වන විට අලූත් දෙයක් සිදුවෙන්නේ නැත. අලූත් ව්‍යවසායකයෙකු, අලූත් නිෂ්පාදකයෙකු බිහි නොකරන සමාජය තුළ ආර්ථිකය දුබල එකක් වන අතර අවසානයේ දී එය සමස්ථය පීඩනයට පත් කරයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ව්‍යුහය තුළ කප්පම්කාර ස්වභාවය ක‍්‍රමයෙන් පෝෂණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. පැවැති ආණ්ඩු අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති හෙයින් ශ‍්‍රී ලංකාව මැදි ආදායම් රටක මට්ටමට පත් විය. එය අවස්ථා බහුල සමාජයක් නිර්මාණය කළේය. මෙම අවස්ථා සාධාරණ ආකාරයට උපයෝගී කරගැනීම වෙනුවට පටුවාසි තකා කි‍්‍රයා කරන අතරමැදියන් මෙකී කප්පම් භීතිය ඇතිකරන ලද බව සඳහන් කළ හැකිය. පළමු අවස්ථාවේ දීම එය මැඩ පවත්වා පාලනය කරන්නට උත්සුක නොවූ දේශපාලනය මෙයට යම් ආකාරයකට වගකිව යුතුව තිබේ.

ව්‍යවසායයක් ආරම්භ කිරීමේ දී, ඒ වෙනුවෙන් රටක් තුළ ඇති පහසුකම ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව තිබේ. එය ජාත්‍යන්තරව ශ්‍රේණිගත වන අතර ලෝකයේ බලවත් ආයෝජකයන් තමන්ගේ ධනය යොදවන්නේ මෙම ශ්‍රේණිගත කිරීම් සලකා බලා එයින් අඟවන යතාර්ථය අනුවය. ශ‍්‍රී ලංකාව එක පැත්තකින් අති විශාල පරිශ‍්‍රමයක් දරා ලෝක ආයෝජකයන්ට රටට කැඳවන අතර අනෙක් පැත්තෙන් ඔවුන්ට සන්නිවේදනය වන චිත‍්‍රය අනුව මෙරට කප්පම් කල්ලි ව්‍යවසායකත්වයට අභියෝගයක් වශයෙන් නැගී සිටින්නට පටන්ගෙන තිබේ.

ව්‍යාපාරයක් කරගෙන යන විට එයට බාධා කර ධනය උපයා ගන්නා ආකාරය පමණක් නොව රට තුළ අලූත් දෙයක් කරන්නට සූදානම් වන ව්‍යවසායකත්වයට අවහිර වන නීත්‍යානුකුල නොවන ව්‍යුහ පාලනය කිරීමට නීතිය සමත්විය යුතුය. බලහත්කාරය වෙනුවට සහයෝගීත්වය ප‍්‍රකාශ විය යුතු අතර බලපෑම් වලින් තොර සන්සුන් දේශයක් අපේක්ෂා කරන්නට අවශ්‍යය.පශ්චාත් යුද කාල සීමාවක පසුවන ශ‍්‍රී ලංකාවට යුක්තිය, සාධාරණත්වය සමබන්ධව ගැටලූ මතුවීම පිළිගත හැකි තත්ත්වයකි. ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ දී ආණ්ඩුව අසීමිත බලයක් ඇතිව ක‍්‍රියා කරන අතර එය ආර්ථිකයට අවහිරයකි. මෙම බලය සම්බන්ධයෙන් අතරමැදියන් සේ හැසිරෙන්නට උත්සුක වන කණ්ඩායම් ආණ්ඩුව අයිිතිකරගෙන ඇති අසීමිත බලය නැවත සිවිල් සමාජයට පවරන ගමනට ද බාධා කරන බව තේරුම් ගැනීම අවශ්‍යය.