milinda-prashna

2016/01/20 – ලංකාදීප

නගරයට ප‍්‍රධානියෙකු පත් කරගන්නේ ජන ජීවිතය සංවිධානය කරගැනීමට පහසුවක් වශයෙන්ය. පොදු පහසුකම් ගැන සොයා බලා ජනතාව සතුටින් තැබිමට පියවර ගැනීම නගරාධිපතිවරයෙකුගේ වගකීමයි. නගරයක් යනු විශාල ආර්ථිකයකි. එහි සේවා නිසි ආකාරයට පවත්වාගෙනයාම පහසු නැත. පැය අටක් වැඩ කර ජනතා සේවය ඉටු කළ හැකිය යන අදහස තව දුරටත් අලූත් එකක් නොවේ.

දවසේ වැඩ කරන පැය ගණන අවසන් වූ පසු එලැඹෙන හැන්දෑව ඕනෑම නගරයක අලූත් ආර්ථිකයක් බිහිවෙයි. එම රාත‍්‍රී ආර්ථිකය වෙනුවෙන් සැදෑ නගරාධිපතිවරයෙකු පත් කර ගැනීම අලූත් අදහසකි. නිල වශයෙන් පත් වූ නගරාධිපති සිටිය දී වෙනත් අයෙකු හැන්දෑව වෙනුවෙන් බහුතර කැමැත්තෙන් තෝරා ගැනීම බරපතල කාරණයක් විය හැකිය. නමුත් නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නගරය එවැනි ධුරයක් ඇති කර තිබේ. සැඳෑ නගරාධිපතිවරයා කරන්නේ අඳුර සමග අවදිවන නගරයේ ක‍්‍රියාකාරීත්වය ගැන අවදියෙන් සිටීමය. නගරාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව ඔහු සමග සහයෝගයෙන් රාත‍්‍රී කාලයේ නගරයේ වානිජ කටයුතු සොයා බලා හරි දේ කරන වගකීම ඉටු කිරීමය.

දහවල් කාලයේ නගරාධිපති වැඩ කරන්නේ ආණ්ඩුව, නීතිය, විධි විධාන සහ බදු ලිපිගොනු වැනි දේ සමගය. නමුත් හැන්දෑවට අලූත් වචන එකතු වෙයි. සමාජ ශාලා, මත්පැන්, සංගීතය, ආහාර පාන සහ රාත‍්‍රී සාද ඒ අතර බහුලය. එක තැනක සද්දය වැඩි විය හැකිය. තවත් තැනක හදිසියේ අනවසර මත් පැන් විකුණන්නට පටන්ගෙන තිබේ. මාර්ගය අවහිර වන ආකාරයට නැටුම් කණ්ඩායමක් සංදර්ශනයකය. මෙම සියලූ පැති තුළ තරඟය, නොසන්සුන්බව සහ අසීමිත ධනය හුවමාරු වෙයි. මෙවැනි අවස්ථාවක තීරණ ගන්නට නගර සභාව විවෘත කරන තෙක් බලාසිටිය යුතු නැත. ඇම්ස්ටඩෑම් සැඳෑ නගරාධිපතිවරයා එම සිදුවීම් අසල සිටී. ඔහු නියම කරන අදහසට අවනත වන්නට සියලූ දෙනා වග බලා ගනිති. මන්ද පොදු යහපත වෙනුවෙන් මෙම ධුරයට පත් කරගෙන ඇති හෙයින්ය. නගරයේ හැන්දෑවේ ආර්ථිකයට සම්බන්ධ සියලූ දෙනාගේ ගෞරවයට පත් සාමාජිකයන් අතරින් කෙනෙකු ධුරයට වැඩි දෙනෙකුගේ කැමැත්තෙන් තෝරා ගනී. මුල් කාලයේ දී එය ස්වේච්ඡා කාර්යයකි. දැන් ඒ වෙනුවෙන් සුළු දීමනාවක් ගෙවන බව අනාවරණය වෙයි. ඉක්මනින් ඒ මොහොතේම මැදිහත් විය යුතු දේ සොයා බලා තීරණය ගැනීම මෙම තනතුර ඉටු කරන ඉතාම වැදගත් බාර ධුර කාරණය බවට පත්ව ඇත.

පසුගියදා ලන්ඩන් නගරය දියුණු කරන්නට අලූත් අදහස් හා යෝජනා කැඳවා තිබුණි. සැදෑ නගරාධිපතිවරයෙක් යන අදහස ලන්ඩන් නගරයට ද හඳුන්වා දිය යුතු බවට අදහසක් පැන නැගී තිබේ. තොරතුරු දක්වන ආකාරයට ලන්ඩන් නගරයේ හුවමාරු වන ධනය අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන සියය ඉක්මවන බව අනාවරණය වෙයි. සංදර්ශන වෙනුවෙන් නගරයට ඇතුළු වූ පිරිස මිලියන 6.6 ක් වන අතර එයින් හරි අඩක් සංචාරකයන්ය. මෙවැනි පිරිසක් සැරිසරන විශාල ධනස්කන්ධයක් හුවමාරු වන රාතී‍්‍ර කාලය වෙනුවෙන් වෙනම අවධානය යොමු කිරීම නරක අදහසක් නොවන බව විචාරක අදහසයි. ලන්ඩන් නගරයට රාත‍්‍රී කාලයේ ක‍්‍රියා කාරීත්වය සක‍්‍රීය කරන කාර්යය වැදගත් වන්නේ මන්ද යන අදහස දත්ත වලින් දක්වන බලධාරීහු පෙන්වා දෙන්නේ 2015 වසර දක්වා ගත වූ අවුරුදු අටක් තුළ ලන්ඩන් නගරයේ බිම් මට්ටමේ සංගීතහල් ප‍්‍රමාණය සියයට තිස් පහකින් වසා දමා ඇති අතර එයට බලපා ඇත්තේ හැන්දෑවේ සිදුවන ඇතැම් ගැටලූ වලින් ගැලවෙන්නට නොහැකිකම බව අවධාරණය වී තිබේ.

ලෝකයේ ඕනෑම රටක් ආර්ථික වේගය සහ සංවර්ධනය ගැන කතා කරන විට දහවල් කාලයේ කාර්යයට වඩා රාත‍්‍රියේ කරන ආර්ථික කි‍්‍රියාකාරීත්වය පුලූල් එකක් බවට අවධානය යොමු කර තිබේ. ඇම්ස්ටඩෑන් නගරයේ පමණක් නොව නෙදර්ලන්තයේ තවත් නගර වලට මෙම අදහස ව්‍යාප්ත වී තිබේ. ලෝකයේ නොයෙක් රටවල නගර වලට මෙම සංකල්පය පැතිරෙන්නට පටන්ගෙන ඇත. රාතී‍්‍ර උත්සව, සංදර්ශන සහ බොජුන්හල් වල ගැවසෙන අති විශාල ජනගහනය විසින් උත්පාදනය කරන අලූත් රැකියා අවස්ථා, අලූත් බදු සහ වෙළඳාම ආකර්ශණීය අවස්ථා බව හිතන්නට පටන්ගෙන ඇති බව පැහැදිලිය.

දියුණුවන ලෝක ස්වභාවය තුළ පැය අටක වැඩ මුරය වෙනුවට දෙතුන් ගුණයක කාලයෙන් වැඩ ගත හැකි අලූත් අවකාශ ගැන නිර්මාණාත්මක ලෙස හිතන්නට පටන්ගෙන තිබේ. එම අදහස් තුළින් මතුකරන්නේ අසංවිධිත සහ අක‍්‍රමික ආකාරයට සිදුවන දේ නීතිමය රාමුවක් යටතට ගෙන නිසි සංයමයක් ඇති කිරීමට ඇති හැකියාවයි. මේවා රටක් දියුණුවන විට අත් හදා බලන්නට සුදුසු අදහස්ය.