milinda-prashna

2015/11/25 – ලංකාදීප

මෙරට සමාජය තුළ සංස්කෘතික දුර්වල කමක් තිබේ. ගහ හැදෙන්නට කලින් අස්වැන්න අපේක්ෂා කිරීමය. දේශපාලනඥයන් ආර්ථිකය සම්බන්ධයෙන් එය මැනැවින් ප‍්‍රයෝජනයට ගනී. එම උපයෝගී කරගැනීම තුළ මහජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවන අතර කැපවීම සහ ඉවසිල්ල නැති සමාජ ක‍්‍රමයක් බිහි කර තිබේ. නිදහස ලැබූ දිනයේ සිට ශ‍්‍රී ලාංකේය සමාජය ඉතාමත් ඉක්මනින් ප‍්‍රතිඵල ඉල්ලන අතර ඒවා සාක්ෂාත් නොවන පසුබිම තුළ පාඩමක් ඉගෙනගන්නේ ද නැත.
පෙනෙන ආකාරයට සිවිල් සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ගැන බලවත් මානව අයිතිවාසිකම් සහ සංහිදියාව වැනි කරුණු ගැන ඉතා උනන්දුය. නමුත් ආර්ථිකය ගැන සෙවිල්ල දුබලය. ආර්ථිකයක් හැදෙන්නේ කොහොමද සහ එම ආර්ථිකය හදන්නට ගත යුතු ප‍්‍රතිපත්ති තීරණ ගැන සියුම් සංවාදයක් නැත. එහෙයින් දේශපාලනඥයන් කියන්නේ තමන්ට ඇති හැකියාව ගැනය. දවසකින් දෙකකින් ආර්ථිකය හදන මැජික් විසඳුම් ඇති බවය. එකී හැකියාව ඔවුන් සන්නිවේදනය කරන අතර ජනතාව යම් පමණකට විශ්වාස කරයි. තීරණ ගැනීමේ අමාරුකම් නොපෙන්වන අතර ආර්ථිකය ගොඩනැගීමේ දී පවත්වාගත යුතු කැපවීම ගැන සඳහන් නොකරයි. එහි ප‍්‍රතිවිපාක සමස්ථ සමාජය අඩු වැඩි වශයෙන් ගෙවන බරපතල වන්දියක් බවට පත්ව තිබේ.

යහපත් ආර්ථිකය තුළ සමාජ සාධාරණත්වය දැනෙන්නට අවශ්‍යය. සියලූම දෙනාට ජීවත්වීමේ පහසුව තිබිය යුතු අතර හොඳ ආදායමක් ලැබෙන සහ ආර්ථික සුරක්ෂිතතාවය ගැන උසස් සංකල්ප පවතින තැනක් බවට සමාජය පත්විය යුතුය. එවැනි තැනකට ආර්ථික ස්වභාවය වෙනස් කරන්නේ කෙසේද? අප සියලූ දෙනාම සාකච්ඡා කළ යුතු වැදගත්ම කාර්යය එයයි. එය පහසු නැති කාර්යයකි. මිහිරි වචන වලින් මෙම වෙනස් කිරිම කළ නොහැකිය. එපමණක් නොව හොඳ ආර්ථිකයක් යනු සිවිල් සමාජය අපේක්ෂා කරන යහපත් පාලනය සම්බන්ධ ගුණාංග වල ශක්තිමත් අත්තිවාරම බව තේරුම් ගැනීම අවශ්‍යය.
අද සඳහන් කරන මැදි ආදායම් මට්ටමට රට බවට පත්ව ඇත්තේ නිරායාසයෙන්ය. මෙම නිරායාසය තුළ නිෂ්පාදනය වැඩිවී නැත. වැඩිපුර නිපදවන දේ වෙළඳ පොලට සපයා නැත. වෙළඳ පොල රට තුළ පමණක් නොව රටින් එපිටට ද පතුරවන්නට හැකියාව ලැබී නැති බව ද නිරීක්සණය කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ආනයන මත පදනම්ව තිබේ. සේවා අංශය වැඩි පරිමාවක් උසුලයි.
පවතින තත්ත්වය වෙනස් කිරීමෙන් හැර ආර්ථික දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. එම වෙනස ඇති නොකර ජිවත්වීමේ පහසුව ඇති කරන්නට හැකියාවක් නැත. අලූත් කර්මාන්ත සහ ව්‍යාපාර ඇති විය යුතු අතර එය සමාජයට රැකියා සහ ආණ්ඩුවට බදු ආදායම සම්පාදනය කරයි. එම කර්මාන්ත සහ ව්‍යාපාර නිෂ්පාදනය කරන දේ වෙළඳ පොලට නිකුත් කළ යුතුය. නිපදවිය යුතු දේ තරගකාරී මිලට හොඳ ගුණත්මක බවක් සහිතවීම අවශ්‍යය. ලෝක වෙළඳ පොලේ ඉඩක් ලබා ගත හැකි එවිටය.
යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් දක්වා හරවන කාර්යයකින් තොරව සමාජයට පහසුවක් දැනෙන්නේ නැත. එම පරිවර්තනය සමාජයට ප‍්‍රශ්න ඇති නොවන ආකාරයට කරගෙන යාම ද පහසු එකක් නොවේ. දේශපාලනයේ දී පහසුගමන් සහ සිත පිනවන කතා සමාජයට ඉදිරිපත් කරන්නේ ජනප‍්‍රියතාව වෙනුවෙන් නමුත් ජනප5ිය තීන්දු වලින් ලෝකයේ ඉහළට නැගී බලවත් වූ රටවල් නැත. දියුණුවට පත්වූ දරු පවුලකට තමන්ගේ සාර්ථකත්වයේ රහස් ගැන කතාන්දරයක් තිබේ. ඉවසීම සහ කැපවීම ගැන අත්දැකීම් එහි මැනැවින් අඩංගුය. රටක තත්ත්වය ද එයින් වෙනසක් නැත. මතු පරම්පරාවට තමන්ගේ අත්දැකීම් සහ දුශ්කරතා මැද දුක දිනාගෙන නැගී සිටි ආකාරය ගැන නිවී සැනසිල්ලේ සිහිපත් කරන්නට හැකි අද කැපවීමෙන් ක‍්‍රියා කළහොත් පමණකි. සාර්ථකත්වය ආණ්ඩුවක පමණක් මෙහෙයැවීමක් නොවන අතර ආර්ථිකය යනු ආණ්ඩුවේ තීරණ පමණක් යැයි කල්පනා කිරීම වැරදි අදහසකි. ආර්ථික දියුණුව උදෙසා සමාජ සම්මුතියක් රටට අවශ්‍යය. ඒ වෙනුවෙන් සංවාදයක් ඇති කළ යුතුය.