milinda-prashna

2015/11/18 – ලංකාදීප

අය වැය යෝජනා ඉදිරිපත් වන කාල වකවානුව ළඟාවන විට ලබාගත හැකි සහන ගැන ජනතාව බලාපොරොත්තුව වෙයි. ආණ්ඩු ගණන් බලන්නේ ජනතාව ගේ හිත දිනාගන්නට ගත හැකි ක‍්‍රියාමාර්ග ගැනය. අයවැය යෝජනා වලදී ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් සාක්ෂාත් කළ නොහැකි අතර ඒ ආකාරයටම පොදු ජනතාවගේ හිත දිනාගන්නට ද ආණ්ඩු අසමත් වෙයි. ඉතිහාසයේ සිට අත්දකින ලද පාඩම එයයි.

ආර්ථික ගමනට කෙටි පාරවල් නැත. සංවර්ධනය පහසුවෙන් අත්පත් කරගන්නට හැකි ආකාරයේ මැජික් විසඳුම් ලෝකයේ කොතැනකින් හෝ වාර්තා වී නැති බවද සඳහන් කළ යුතුය. ආයෝජනය කරන ලද තරමට ප‍්‍රතිලාභ ලැබේ. එම ආයෝජනය තරඟකාරී එකක් වන තරමට අනෙක් රටවල් පරදවා ඉදිරියට යා හැකිය. කාර්යක්ෂමව සහ කැපවීමෙන් කි‍්‍රියා කළ රටවල් ලෝකයේ ඉහළට පැමිණ ඇති අතර එම රටවල පුරවැසියන් ආර්ථික සහ සමාජයීය වශයෙන් හොඳ ප‍්‍රතිලාභ වලට හිමිකම් කියති. දේශපාලන සහ මානව අයිතිවාසිකම් සම්බන්ධ ඉහළ ප‍්‍රමිති අත්පත් කරගන්නට ද බලවත් පදනමක් බවට පත්ව ඇත්තේ හොඳ ආර්ථිකයයි. ආර්ථිකය ගැන සුපුරුදු කතාන්දරය එවැනි එකක් නමුත් දේශපාලනඥයන් එසේ නොවේ. ඔවුන් අඟවන්නේ තමන්ට ආර්ථිකය පාලනය කළ හැකි අතර ජනතාව වෙනුවෙන් ඕනැම කැපවිමකට සූදානම් බවය.

පසුගිය දශක හතට කිට්ටු කාලය තුළ පක්ෂ දේශපාලනයේ එවැනි පුරසාරම් වල ප‍්‍රතිඵල අද පැහැදිලිව පෙනේ. සමාජයේ මධ්‍යම පැලැන්තිය පුලූල් වී ඇති නමුත් එම පිරිසගේ මිලදී ගැනීමේ හැකියාව දුර්වලය. ගමනාගමනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරා ගන්නට හැකි ආකාරයේ ආර්ථිකයක ජනතාව අතරින් බහුතරයක් නැත. සංවර්ධනය ගැන සඳහන් කරන විට ශ‍්‍රී ලංකාවේ ණය බර ගැන කරුණු දක්වන්නට සිදුවී ඇති අතර රාජ්‍ය ආදායම අඩුවීම සහ අපනයන ආදායම පහත වැටීම ගැන කතා කරන්නට ද සිදුව තිබේ. තම ආදායම වැඩි කරගන්නට නිෂ්පාදනය නැංවීමට ඇති උවමනාව කෙරෙහි ජනතාව අවධානය යොමු කරන්නේ නැත.

නිපදවන දෙයින් කොටසක් විකුණා වැඩිපුර විනිමය උපයන්නට ඉලක්ක කරන්නේ ද නැත. සමාජ අපේක්ෂාව ආණ්ඩුවයි. ආණ්ඩුවෙන් යැපෙන්නට හදන සමාජය එම සමාජ අරමුණ ඉශ්ඨ කරන්නට ධනය උපයා ගන්නේ සමාජයෙන් බව අවධානයට ගන්නේ නැත. කණගාටුදායක පැත්ත එයයි. එවැනි පසුබිමක සිටිය දී තවත් අය වැයක් යනු සම්ප‍්‍රදායික එකක් පමණකි. ආර්ථිකය නිවැරදි ආකාරයට සකස්කර ජනතාවට එහි ඇති අවස්ථා අත්පත් කරගන්නට විවෘත අවකාශ දිය හැකිය. එය කරන්නට නම් ජනතාවට ඇත්ත කියන්නට අවශ්‍යය. දේශපාලන පක්ෂ බේධයෙන් තොරව පවතින යථාර්ථයට මුහුණ දෙන්නට රට සූදානම් කළ යුතුය. රටක් වශයෙන් එකතු වී ආර්ථිකය තුළ පවතින ප‍්‍රමුඛ ගැටලූ විසඳාගන්නට අලූත් බලවේගයක් සකස් කරගැනීම වැදගත්ය.

අධ්‍යාපනය අවසන් කරන විට හොඳ රැකියා අවස්ථා රට තුළ සකස් කරන කර්මාන්ත සහ සේවා අංශ දියුණු කරන තීන්දු ගැනීම වැදගත්ය. අයවැය මගින් ආර්ථීකයේ ඇති බැඳීම් හා පැරණි ආකල්ප ලිහිල් කළයුතු සේ ම රාජ්‍ය සේවය, අධ්‍යාපනය හා කෘෂිකර්මය වැනි පැති කෙරෙහි ද මෙයට වඩා පුලූල්ව තීන්දු ගත යුතුව තිබේ. රටක් දියුණුවන විට කළමණාකරණයට දක්ෂ, අධ්‍යාපනයක් ඇති මානව සම්පත අත්‍යවශ්‍ය සාධකයකි. දැනට පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිකරන්නේ තීරණ ගතහැකි කළමණාකරුවන් නොවේ. පාසල් අධ්‍යාපනය අවසන් කරන බහුතරය අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි. රජය රැකියා සපයන්නෙක් විය යුතු නැත. වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය ව්‍යාපාරිකයන් හා නව නිපැයුම්කරුවන් බිහිකරන්නේ නැත. පාසලෙන් එළියට එන්නේ තවත් කෙනෙකු යටතේ රැකියා කරන ආකල්ප ඇති පුද්ගලයෙකි. මෙම වහල් ආකල්ප වලින් රට දියුණු නොවේ. මේ ආකල්ප වෙනස් කළයුතු පාසල් අවධියේ පටන්මය. අය වැය සමාජය තනන දර්ශනයක් ඇති එකක් විනා අය වැය පියවන යෝජනා වලින් පමණක් සමන්විත විය යුතු නැත.