milinda-prashna

2015/07/22 – ලංකාදීප
මහ පොලව බෙදා වෙන්කර පාලනය කරන ආකාරයටම අහස පාලනය කරන්නට සිදුවන දිනය ඉක්මනින් උදාවනු ඇතැයි බලවත් මතයක් නැගෙමින් තිබේ. මෙවැනි අදහස් මතුවන්නේ ඇයි? ඉදිරි දශක දෙක තුන ඇතුලත අපට පෙනෙන නිල්වන් වලාකුළු බහුල ආකාශය ඉතාමත් කාර්යශීලී තැනක් බවට පත්වනු ඇතැයි තක්සේරු කරන හෙයින්ය.

මහ පොලව මත සිදුවන මගී සහ භාණ්ඩ ප‍්‍රවාහනය අහස වෙත යොමුවෙමින් තිබේ. පෙනෙන ආකාරයට එය බලවත් වෙනසකි. මෙම සූදානම වෙනුවෙන් දැනටත් අහසේ කලාප වෙන්කරන්නට සිදුව ඇත. මේ වන විට මගී ගුවන් යානා ගමන් කරන්නේ මුහුදු මට්ටමේ සිට උස අනුවය. අධිවේගී විශාල ගුවන් යානා ඉහළම උසකින් ගමන් කරන අතර හෙලිකොප්ටර් පහතින් ගමන් කරනු දැකිය හැකිය. අහසේ පෙනෙන්ට නැති ගුවන් ගමන් මාර්ගවල ජ්‍යාමිතික ක‍්‍රම තීරණය කරන්නේ ජාත්‍යන්තර නීති වලට එකගවය. ඉදිරි වසර දහය තුළ එය තවත් සංකීර්ණ වියහැකි අතර නීති රීති අනුව වෙන් කරන අහසේ සීමා මායිම් වානිජ මුහුණුවරක් ගන්නට ද ඉඩ තිබේ.

ස්විට්සරලන්තය පසුගිය මාසයේ සිට අත්හදා බැලීමක් වශයෙන් ලිපි බෙදා හැරීමට ඩ්‍රෝනා යාත‍්‍රා උපයෝගී කරයි. ඉදිරියේ දී එය සාර්ථකවනු ඇතැයි කියන එරට තැපැල් දෙපාර්තමේන්තුව කිලෝවක සිට කිලෝ දහය දක්වා බරක් රු`ගෙන නියමුවෙකු රහිතව අහසේ ගමන් කරන්නේය. ඩ්‍රෝනා යාත‍්‍රා තොරතුරු තාක්ෂණ පාලනය ඇතිව ලිපි බෙදා හැරීම අරඹනු ඇති බව ද එරටින් ලැබෙන තොරතුරු දක්වයි. මිනිසුන් රහිත ඩ්‍රෝනා යානා මුලින් නිශ්පාදනය කරන්නේ යුද අවශ්‍යතාවක් වශයෙනි. දරුණු සටන් පවතින ප‍්‍රදේශ වලට ඩ්‍රෝනා යවා ඔත්තු බලන අතර යම් අවස්ථාවල ප‍්‍රහාර එල්ල කරන්නට ද උපයෝගී කරගත් බව වාර්තා වෙයි. යුද උපක‍්‍රම වශයෙන් බිහිවන මෙවලම් ජන ජීවිතයේ පරිහරණයට එකතු වන්නේ ඉක්මනින්ය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා රටවල් තමන්ගේ මහා මාර්ග වල පවතින අධික වාහන තදබදයට උත්තරයක් ලෙස භාණ්ඩ බෙදාහැරීම ස`දහා අහසේ ගමන් කරන ඩ්‍රෝනා උපයෝගී කරගනිමින් සිටී. ස්විට්සරලන්තයේ ඩ්‍රෝනා තැපැල් සේවය එහි එක් ප‍්‍රතිඵලයකි.
මිනිසුන් රහිත ඩ්‍රෝනා අහසේ සැරිසරන අතරවාරයේ ගුවන් යානා සහ හෙළිකොප්ටර් වල ගමන් බිමන් වලට සිදුවිය හැකි බලපෑම කුමක්ද? ඒ ගැන පුලූල් අවධානයක් යොමු වෙමින් පවතී. දැන් පවතින ස්වභාවය අනුව නිල ගුවන් සමාගම් පමණක් නොව පුද්ගලික ගුවන් යානා ද අහසට එකතුවෙමින් තිබේ. කුඩා ප‍්‍රමාණයේ තනිව පදවාගෙන යන ගුවන් යානා වේගයෙන් භාවිතාවට එකතුවන අතර තාක්ෂණික දියුණුව සමග මහ මග ධාවනය වන කුඩා සැහැල්ලූ කාර් ඕනෑම අවස්ථාවක අහසට නැග යම් දුරක් ධාවනය කරන්නට හැකි වන පරිදි නිර්මාණය වෙමින් පවතින බව ද අමතක කළ යුතු නැත. ගුවන් ගමන් පාලක මැදිරි වලට මෙම අලූත් ප‍්‍රවනතා අනුව බරපතල තීන්දු ගන්නට සිදුවන බව පැහැදිලිය.

ජාත්‍යන්තර නීති අනුව රටකට අහස ඇති අයිතිය නිල වශයෙන් පංගු කර තිබේ. එය තව තවත් තල වලට බෙදා එක් එක් යානා විශේෂ වලට වෙන් කරන්නට ඉදිරියේ දී සිදුවනු ඇත. එපමණක් නොවේ එම ගගන තලය අත්පත් කරගන්නට මුදල් ගෙවා බලපත‍්‍රයක් ගන්නට සිදුවිය හැකි අතර එම බලපත‍්‍රය වාර්ෂිකව වෙන්දේසි කරන ක‍්‍රමයක් ද බිහිවෙන්නට බැරි නැත.

අද කාලයේ ඉඩමක් මිලදී ගන්නා විට එහි ඔප්පුවේ අහස ගැන ස`දහන් වන්නේ නැත. නමුත් තව දහක කිහිපයක් ගතවන විට පොලවේ සිට අහස උසට ඉඩමකට ඇති අයිතිය අඩි ගණනින් දක්වන්නට ඉඩ තිබේ. එයින් ඔබ්බට ගොඩනැගිලි තැනීම හෝ වෙනත් කුළුණු ඉදිකිරීම තහනම් විය හැක්කේ ඩ්‍රෝනා සහ පුද්ගලික ගුවන් යානා වලට අහස බෙදා වෙන් කර දෙන ව්‍යාපාරයේ කොටසක් වශයෙන්ය. අහස අයිතිය ආණ්ඩුවටද? ආණ්ඩුවේ වෙන්දේසියෙන් පදු්ගලික අංශය මිලදී ගන්නා ගගන කලාප ජන ජීවිතයේ පැවැත්ම වෙනස්කරනු ඇති පමණක් නොව අපට පෙනෙන අහසේ ස්වභාවය ද සහමුලින්ම අනෙක් එකක් බවට පත් කරනු නිසැකය.