milinda-prashna
ලංකාදීප – 2015/07/08

දියුණු සංකීර්ණ සමාජය තුළ මගී ප‍්‍රවාහනය ගැන එකිනෙකට වෙනස් අත්හදා බැලීම් සිදුවෙමින් පවතී. ඉතාම වේගයෙන් එනම් සිලින්ඩරයක් තුළ ස්ථාපිත කරන ප‍්‍රවාහන ඒකකයක් භාවිතාකර පැයට කිලෝමීටර් 1,220 ක වේගයෙන් ගමන් කරන මගී ප‍්‍රවාහනයක් ගැන සාකච්ඡා කරන මෙම තාක්ෂණික යුගය තුළ ග‍්‍රාමීය ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යතුරු පැදිය ටැක්සි සේවයක් වශයෙන් විධිමත්ව භාවිතා කළ හැකි ආකාරය ගැන අවධානය යොමු කරමින් සිටී.

තායිලන්තයේ බැංකොක් නගරයේ එය දැනටමත් සිදුවෙමින් පවතී. නගරය පුරා අධික රථවාහන තදබදයක් පවතින අතර යතුරු පැදි ධාවකයෝ වාහන අතරින් රිංගා යමින් කාර්යක්ෂම මගී ප‍්‍රවාහනයක නිරතව සිටිති. එය කාලය කළමණාකරනය කරන සහ වියදම අඩු පුද්ගලික ප‍්‍රවාහනයක සිරිය ගෙන තිබේ. බැංකොක්් පමණක් නොව, පැරිසිය, කොලොම්බියා සහ කැරිබියන් දුපත් වල ද යතුරු පැදි ටැක්සි සේවාව ව්‍යාප්තව තිබෙන බව අනාවරණය වෙයි.

පොදු ප‍්‍රවාහන පහසුකම් අඩු ග‍්‍රාමීය ප‍්‍රදේශවලට යතුරු පැදි ටැක්සි සේවාව අලූත් අවස්ථාවකි. ටැක්සියක හෝ තී‍්‍රවිලරයක කෙටි ගමනක් වෙනුවෙන් වියදම් කළ නොහැකි ආදායමක් සහිත සාමාන්‍ය ජන කොටස වෙනුවෙන් අලූත් සේවාවක් බවට යතුරු පැදිය ආකර්ශණීය එකකි. දුෂ්කර ප‍්‍රදේශ වල පොදු ප‍්‍රවාහන පහසුකම් සීමිතය. බස් රථයක් එන්නේ පැයකට නැත්නම් දෙකකට වරකි. ටැක්සි සහ ත‍්‍රීවිලර් වෙනුවෙන් ප‍්‍රමාණවත් මගීන් නැති පසුබිමක එවැනි වාහන නිතර මග තොට ගැවසෙන්නේ ද නැත. වාහන අඩු නමුත් ඕනෑම දුශ්කර ප‍්‍රදේශයක යතුරු පැදි භාවිතය බහුලව සිදුවෙයි. යතුරු පැදිය තමන්ගේ පුද්ගලික පරිහරණයට මිල දී ගන්නා නමුත් එය ව්‍යවසායයක් සහ පොදු මගී ප‍්‍රවාහන සේවාවක එක්තරා අවස්ථාවක් බවට පරිවර්තනය කරගත හැකි නම් එය ගැලපෙන යෝජනාවක් වශයෙන් සලකා බැලීම සුදුසුය.

යතුරු පැදි ටැක්සි සේවාවට ඉඩ දෙන විට නවීන භාවිතාව අනුව සැලසුම් සකස් කරන්නට හැකිය. ප‍්‍රධාන මගී ප‍්‍රවාහනය ඇති ප‍්‍රදේශවලට ප‍්‍රවේශවීමට ඉඩ නැති ආකාරයට කලාප වෙන්කරන්නට පහසුකම තිබේ. නූතන තාක්ෂණය භාවිතා කර එය නිරීක්ෂණය කළ හැකිය. බලපත‍්‍රයෙන් එපිටට යා නොහැකි පමණක් නොව කාන්තා සහ පිරිමි පාර්ශව දෙකටම එහි නිරත විය හැකි ආකාරයට සකස් කළහොත් සමාජ ගැටලූ අඩු වෙයි. දරුවන්ට, කාන්තාවන්ට ගමනා ගමනයට යතුරු පැදි ටැක්සිය පහසුවක් වනු ඇත. ඉන්ධන අඩුවෙන් වැය වන හෙයින් ගාස්තු අඩු සහ කාලය හෝ දුර අනුව නියමිත මිලක් නියම කළ හැකිය. වර්තමානයේ ඉන්ධන වෙනුවට විදුලියෙන් ධාවනය වන යතුරු පැදි බහුලව නිෂ්පාදනය කරන හෙයින් ඒවාට පමණක් අවස්ථාව සැපයුවහොත් ග‍්‍රාමීය පරිසරය ආරක්ෂා වන ආකාරයට පසුබිම සකස්වනු ඇත. මාර්ග ආරක්ෂාව ගැන අවධානය යොමු කර වේග සීමා පැනවීමෙන් යතුරු පැදි ටැක්සි සේවය සුරක්ෂිත වෙයි.

උතුරු කොලොම්බියාවේ මොනිටි‍්‍රයා නමැති කුඩා නගරයේ යතුරු පැදි ටැකිස් ව්‍යවසායකයන්ට පුහුණුවක් ද දෙන අතර නව සන්නිවේදන මෙවලම් ඇසුරු කරගනිමින් ඇමතුමක් හෝ කෙටි පනිවුඩයක් දී විනාඩි කිහිපයක් ඇතුලත නිවසටම පැමිණ ගමන කැටුව යන බැවින් එය ජනප‍්‍රිය සේවාවක් බවට පත්ව ඇතැයි ස`දහන් වෙයි. වර්තමාන පරපුර මතක ඇති කාලයේ රික්ෂෝ සේවයක් ක‍්‍රියාත්මක විය. කුඩා බක්කි කරත්තයක් වූ එහි උදාර ආකාරයකට හි`දගෙන සිටි මහත්වරු ඇදගෙන ගියේ තවත් මිනිසෙකි. ශ‍්‍රමය වෙනුවෙන් යම් කුලියක් ලැබූ එම රික්ෂෝ සේවයේ සිට අද දක්වා ටැක්සි සේවය පරිවර්තනය වූ ආාකරය දෙස බලන විට යතුරු පැදිය තවත් යුගයක ආරම්භයක් විය හැකිය. එය වැදගත් වන්නේ නගරයට නොවේ. දුර බැහැර ගම් දනව් වලටය. වාහන නැති හෙයින් මග බලා සිටින සාමාන්‍ය ජනතාවට පමණක් නොව ගොවිපොලේ සිට වෙළ`ද පොළ දක්වා ග‍්‍රාමීය නිෂ්පාදන ප‍්‍රවාහනයට ද මෙය අත්වැලක් සපයනු ඇත. එය රටට පිරිවැය අඩු, කාර්යක්ෂම සහ නියාමනයක් සහිත එකක් බවට පත් කර ගත හැකි සංකල්පයකි.