milinda-prashna

2015/06/17 – ලංකාදීප
ලෝකය බිහිවී එහි මනුෂ්‍යවාසය ඇරඹුන දා සිට අද දක්වා කාලය පැය විසි හතරක් යැයි උප කල්පනය කළහොත් අන්තර් ජාලය බිහිවී ගතවී ඇත්තේ තත්ත්පරයකින් ද කුඩා පංගුවක් විය හැකිය. නමුත් මෙම ඉතා කුඩා ක්ෂණික කාලය මනුෂ්‍ය සංහතියට කර ඇති බලපෑම සුළු කොට තැකිය නොහැකිය. එය සන්නිවේදන විප්ලවයයි. උපතේ සිට මරණය දක්වා ඉතාමත් වැදගත් ආකාරයට බලපාන මෙවලමක් බවට තොරතුරු තාක්ෂණය, පත්ව තිබේ. එදිනෙදා ජීවිතය හසුරුවන්නට පමණක් නොව ජීවිතය කාර්යක්ෂම කර පහසු කරන්නට ද අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය පිටුවහලක්ව ඇති ආකාරය අවධානයට ගැනීම වටී.

මෙම තාක්ෂණ යුගයේ, තොරතුරු සන්නිවේදනයේ දී හුවමාරු වන දත්ත අලූත් ආර්ථික සහ සමාජයීය අවස්ථා ඇති කරමින් සිටී. එය සමාජ ගෝලීයකරණයේ අලූත් පැත්තක් අනාවරණය කරයි. නවතම තොරතුරු වලට අනුව අන්තර්ජාලය උපයෝගී කරගෙන ලෝකයේ විශාලතම ටැක්සි සේවාව ආරම්භ වී ඇත. නමුත් මෙම සේවාව වෙනුවෙන් ආයතනයක් නැත. කාර්ය මණ්ඩලයක් මෙහෙයවන්නේ ද නැත. ලෝකයේ කිසිම රටක සමාගමක් ලෙස නොපවතින අතර ටැක්සි සේවය සතුව එකම කුලී වාහනයක් ද නැත. අන්තර් ජාලය ඔස්සේ සියලූම වාහන පරිහරණය කරන්නන් ටැක්සිකරුවන් බවට පත් කර තිබේ. එයට අනුව තමන් ගමනක් සැලසුම් කරන විට තම වාහනයේ ඉඩකඩ අතිරේකව තිබේනම් ඒ ගැන තොරතුරු අන්තර්ජාලයට මුදා හැරේ. එම තොරතුරු දැනගන්නා කොතැනක හෝ සිටින නොදන්නා මගියෙකු මිල ගෙවා තමන් යම් තැනක සිට තවත් තැනකට ගෙන යන ලෙස ඉල්ලීමක් කරයි. දෙදෙනා ආතර සම්බන්ධතාවය හදන්නේ අන්තර්ජාල මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය පරිහරණය කරන්නන්ට ගමනක් යන්නට වාහනයක් හොයා ගැනීමත් තමන්ගේම වාහනයක ගමන් කරන්නේ නම් එම දිසාවටම යන තවත් කිහිපදෙනෙකු කැටුව ගොස් යම් ආදායමක් උපයා ගන්නටත් ඉඩකඩ ලැබේ. ගනුදෙනු කිරීම සහ ආරක්ෂාව සම්බන්ධව යම් ගැටලූ ඇතත් ඒවා ද නිරාකරණය කරගැනීමට මෙම මෘදුකාංගය වැඩිදියුණු වෙම්න් පවතින අතර නුදුරු කාලය තුළ එය ලොව පුරා ව්‍යාප්ත වුවහොත් නිල ටැක්සි සේවා අවලංගු විය හැකි අතර ගමනාගමනයේ පිරිවැය බරපතල වෙනසකට ලක්වීමෙන් විශාල ආර්ථික ප‍්‍රතිලාභ ඇති වන බව නිසැකය.

ටැක්සි සේවය සම්බන්ධව මෙම තොරතුරු අනාවරණය වන පසුබිම තුළ සිංගප්පූරුවේ මගී ප‍්‍රවාහනය ද තොරතුරු තාක්ෂණයේ දත්ත උපයෝගී කරගෙන පොදු මගී ප‍්‍රවාහනය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර ඇත. එය සාමාන්‍ය ජනතාවගේ සිත් ගන්නා තීරණයකි. මගීන් ගැවසෙන ආකාරය සහ මගී බස් රථවල ඉඩකඩ ගැන නිරීක්ෂණය කරන බස් ධාවන කළමණාකරණය කරන මධ්‍යස්ථාන ඒ මොහොතේ දී මගීන් වැඩි බස් සහිත මාර්ග වලට ඒ අසලින් යන හිස් බස් රථ වහාම යොමු කරන්නට පියවර ගනී. එය මෙතෙක් පැවැති බස් මගී කාල සටහන් ක‍්‍රමය අභිබවා තීරණ ගැනීමකි. කාල සටහන් ක‍්‍රමය අනුව බස් රථය ධාවනය වන වේලාව බලා පාරට එන්නට මගීන්ට සිදුවෙයි. නමුත් මෙම ක‍්‍රමය අනුව මගියා වැදගත් බවට පත්වෙයි. බස් රථයක යන්නට පාරට එන පොදු ජනතාව වෙනුවෙන් ඉක්මනින් බස් යොමු කරන්නට පාලකයන්ට හැකියාව ලැබේ.

ජාත්‍යන්තරය තුළ එවැනි පරිවර්තනයක් සිදුවන කාල වකවානුවක ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහනය සහ ටැක්සි සේවා සම්බන්ධව විමර්ෂණාත්මකව අවධානය යොමු කරන්නට අපට සිදුවී ඇත. බස් ධාවන කාල සටහන වෙනස් කර අලූත් බස් රථයක් ධාවනයට යෙදවුවහොත් බස් හිමියන් වර්ජනය කරන රටකි. බස් රථ ගමනා ගමනය සම්බන්ධ නීති හා විධිවිධාන පනවා මගීන් ගැන හිතන්නට ඉඩ නොදෙන මහජන සේවාවකි. ටැක්සි සේවය ද, එයටත් වඩා ප‍්‍රචලිත තී‍්‍රවිලර් ටැක්සි ක‍්‍රමය ද පවත්වාගෙන යන්නේ මගීන්ගේ යහපත ගැන සිතමින් නොවේ. ඒවායේ විනය ගාස්තු අය කරගැනීමේ ක‍්‍රමය සම්බන්ධයෙන් ගමන් ගන්නා මගීන්ට කිසිදු විශ්වාසයක් නැත.

තාක්ෂණයෙන් පොහොසත් රටක් වන්නේ පරිගණක යහමින් ඇති බව අනුව නොවේ. ශ‍්‍රී ලංකාවේ පරිගණක හිමිකාරීත්වය සහ අන්තර්ජාල භාවිතාව ඉතාම වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. මෙම තාක්ෂණය තුළ ජන ජීවිතය පහසු කරන්නේ කෙසේදැයි විමසා බලන්නට මෙම ටැක්සි සේවා සහ සිංගප්පූරුවේ පොදු ප‍්‍රවාහනය ගැන තොරතුර සියලූ පාර්ශව වල අවධානයට ලක්විය යුතුය.