milinda-prashna

2015/06/03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

පොසොන් පොහොය යෙදී තිබුණේ ඊයේ දිනයටය. බොදුනු ජනතාවට පොසොන් පොහොය ඉතාමත් වැදගත් දිනයකි. රටට අලුත් දර්ශනයක්, අලූත් විනයක් ඇති කරන ලද මිහි`දු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිදුවන්නේ පොසොන් පොහොය දිනයකය. තෙවරක් බුදු රජාණන් වහන්සේ වැඩම කළ ලංකාද්වීපයෙහි පාලකයන් ද, රට වැසියන් ද ධර්මයෙහි පිහිටුවන සුවිශේෂී සන්ධිස්ථානය මහින්දාගමනයයි.

ධර්මාවබෝධයට තාර්කික ඥාණය අවශ්‍යය. දේශනා කරන අලුත් දර්ශනය පිළිගැනීමකට ලක්වන්නේ එය අවබෝධකරගත හැකි පසුබිමක් ඇත්නම් පමණකි. මිහි`දු රහතන් වහන්සේ එය තහවුරු කරගත යුතුය. දඩ කෙළියෙහි නිරතව සිටි දේවානම් පියතිස්ස රජු ගේ අවධානය ගන්නට විමසන ප‍්‍රශ්න මාලාවෙන් එවැනි උවමනාවක් තිබූ බව පැහැදිලි වෙයි. පාලකයා අවබෝධයෙන් යුතු නම් පුර වැසියන් ද යමක් වටහා ගත හැකි යම් තාර්කිකත්වයක පිහිටි පිරිසක් බව මිහි`දු රහතන් වහන්සේ ඇතුළු දුත කණ්ඩායම තේරුම් ගන්නට ඇත.

මහින්දාගමනයෙන් සියවස් ගණනක් නොයෙක් පරිවර්තනවලට ලක් වූ සමාජය වර්තමානයට එළැඹ තිබේ. රජවරුන් යටතේ පාලනය වූ රට පසුව යටත් විජිතයක් බවට පත්විය. ඉතිහාසයට අනුව සොලී ආක‍්‍රමණ වල සිට මෑත දක්වා පාලකයන්ට විදේශ ආක‍්‍රමණ වලින් ගැලවෙන්නට තැනින් තැනට යමින් රාජධානිය පිහිටුවා ගන්නට සිදුවිය. නිදහස අත් පත් කරගත්තේය. නිදහස තවත් අර්ථවත් කරන ප‍්‍රජාතන්ත‍්‍රීය ගුණාංග සමාජයට ඇතුළු වෙමින් තිබේ. පොසොන් සමරන රටට, සන්සුන් සැනසිලිදායක තැනක් බවට පත්ව ඇතැයි ප‍්‍රකාශ කරන්නට හැකියාව තිබේද?
සමාජය තුළ ගැටුම් සහ වියැවුල්ය. අතෘප්තිය සහ විකෘතිය බහුලය. එදා පැවැති අධ්‍යාපනය හා දැනුම උපයා ගත් ආකාරයට හාත්පසින්ම වෙනස් දියුණු යැයි කියන පසුබිමක් අද රට තුළ තිබේ. ආගමෙන් සහ අධ්‍යාපනයෙන් අවබෝධය ඇති කරන නමුත් සමාජය ක‍්‍ර‍්‍රියාකරන්නේ තාර්කික ආකාරයක නොවේ. එය බරපතල ප‍්‍රශ්නයකි.

බුදු දහම ප‍්‍රශ්න ඇති කරන ආගමක් නොවේ. අනෙක් ආගම් වලින් ද එකිනෙකා අතර නොසන්සුන්කම සහ ගැටලූ ඇතිකරන්නේ නැත. සියලූම ආගම් මගින් ආදරය, කරුණාව සහ සැනසිල්ල ඇති කරන මග පෙන්වයි. රට තුළ වෙසෙන වැඩිම පිරිසක් බොදුනුවන් වන හෙයින් බුදු දහමෙහි පමණක් නොව පොසොන් සමයෙහි අරමුණ ද නොදන්නවා විය නොහැකිය.
නමුත් සමාජය බෙදී තිබේ. ජාති ආගම් කුල සහ දේශපාලන වශයෙන් එකිනෙකා වෙන් වී ඇත. එකමුතුව රට ගොඩනගන්නට කැපවෙන පණිවුඩය සාකච්ඡා කරන්නේ ද බෙදුනු කණ්ඩායම් හැටියටය. කන්ඩායම් අතර ඇත්තේ වෛරයයි. දේශපාලනය ඉහළම සම්බන්ධතා ගොඩනගන ආකෘතිය බවට පත්ව තිබේ. දේශපාලනයෙහි නිරත නායකයන් හැසිරෙන්නේ බලය උදෙසාය. බලය ආරක්ෂා කරගන්නටය. රටත්, සමාජයත් ඉදිරියට ගෙන යන සාධනීය සංවාදයකට සූදානමක් නැත. සමගිව රැුස්වන්න. සමගිව සාකච්ඡා කරන්න. සමගිව විසිර යන්න යන පණිවුඩය දෙන්නේ බුදු දහමයි.

අප ජීවත්වන්නේ බුදු දහම එම පණිවුඩය දෙන කාල පරිච්ඡේදයට වඩා පොහොසත් සමයකය. එදා සිටි තත්ත්වයට වඩා ඉහලින් සිටින්නට සමත්කම දියුණුවයි. රට දියුණු වී ඇති නමුත් ආධයාත්මිකව දියුණු වී ඇතැයි තෘප්තිමත්විය හැකිද? පවතින ස්වභාවය සම්බන්ධව ප‍්‍රශ්න කළ යුතු අප විසින්මය.
රටට අලූත් පොසොන් ස`දක් උදාවිය යුතුය. මෝහාන්ධකාරය වෙනුවට යථාවබෝධය ඇති කර ගත යුතුය. රට තුළ ඇති නොසන්සුන් අකාරුණික බෙදුනු බව නැති කරගත යුතු අප විසින්මය. රටට එපිටින් වෙනත් තැනකින් නායකයන් පැමිණ එය ඉටු කරන්නේ නැත. අලුත් අනුබුදු හිමිනමක පැමිණ අලුත් දහමක් මිහින්තලාවෙන් අනාවරණය කරන්නේ ද නැත. පවතින තත්ත්වය වටහාගෙන බලය සහ බලය තහවුරු කරගන්නට නායකයන් ඇති කරන තර`ගය තුළින් සමාජය පත්ව ඇති ව්‍යසනය තේරුම් ගන්නට පොසොන් ස`ද පැහැපත් ආලෝකයකි.