milinda-prashna

2015/04/08 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

වර්තමාන ජන සමාජය ඉතා සංකීර්ණ ස්වභාවයකය. මෙයින් දශකයකට දෙකකට කලින් ජන මතයක් ඇති කරන්නට කරන ලද මාධ්‍ය භාවිතාව සීමිත ව්‍යුහයක් පමණකි. නමුත් වර්තමානයේ සන්නිවේදන කෘත්‍ය ඉතාම පුලූල් සහ ඒ හා සමානවම සියුම් බලපෑමක් කරන ආකාරයකට පරිවර්තනය වී තිබේ. එය බලවත් වෙනසකි. ඒ තුළ ජන මතයක් ඇතිකිරීම පහසු කාර්යයක් නොවේ.

මෑතක් වනතුරු යම් පණිවුඩයක් නිෂ්පාදනය කරන්නට සහ එය සමාජ ගතකරන්නට භාවිතා වූ සන්නිවේදන මෙවලම් අතර පෝස්ටර් සහ කටවුට් වැනි අංග වලට ඉහළ භාවිතාවක් තිබිණ. ජනතාව නිතර ගැවසෙන තැන්වල පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීමෙන් සහ කටවුට් වැනි එල්ලන පුවරු තැබීමෙන් ඒවා දකින, එහි පණිවුඩය කියවන ජනතාව හරහා යම් සන්නිවේදනයක් සිදුවිය. යම් සේවාවක් ගැන දැනුම් දීමේ සිට භාණ්ඩයක් විකිීණීම දක්වා නොයෙක් පරාසයන් දක්වා විහිදුන මෙම උපක‍්‍රමය පලාත් පාලන ආයතන වලට අතිරේක ආදායමක් උපයා දෙන මාර්ගයක් බවට ද පරිවර්තනය විය.

පසුගිය දශකය තුළ සන්නිවේදනය හුදෙක් පෝස්ටර් සහ කටවුට් වැනි අංග අභිබවා යම් වෙනසකට ලක්වන්නේය. භාණ්ඩයක් විකිනීමේ සිට දේශපාලනඥයන්ගේ ප‍්‍රචාරණය පවා ජන මතය ගොඩනගන සන්නිවේදනයේ පැති තොරතුරු තාක්ෂණය සමග සම්බන්ධවෙයි. වර්තමාන තොරතුරු සන්නිවේදන යුගයේ දී ජනමතය ගොඩනැගෙන්නේ පෝස්ටරයෙන් හෝ කටවුට් වලින් පමණක්ම නොවේ. ජනතාව ගේ අත ඇති ජංගම දුරකථනය, ෆේස්බුක් සහ ට්ව්ටර් වැනි සමාජ වෙබ් ජාලා තොරතුර හුවමාරු කරන අතර එයින් මතයක් ගොඩනගයි. නූතන ජනමතය ගොඩනැගෙන්නේ සම්ප‍්‍රදායික බිල්බෝඞ් සහ කටවුට් මගින් කරන පෙළැඹවීමට වෙනස් සූක්ෂම ආකාරයට බව අවබෝධ කරගත යුතුව ඇත.

ගැටලූව මෙම ස්වභාවය විනිශ්චයකට නොගැනීමයි.  ඕනෑම නගරයක කටවුට් සහ පෝස්ටර් බහුලය. නොයෙක් තැන අති විශාල පුවරු ද ප‍්‍රදර්ශනාත්මක ආකාරයට ඉදිකර තිබේ. නොයෙක් උත්සව සහ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් සකස් කරන ලද දැවැන්ත ප‍්‍රචාරක පුවරු ප‍්‍රමාණය සුළු නැත. පරීක්ෂාවෙන් නිරීක්ෂණය කළහොත් ප‍්‍රචාරණ ඉලක්කයක් වෙනුවෙන් සකස් කරන ලද මෙම අංග එම දින වකවානු අවසන්ව මාස ගණනකට පසුව ද ඉවත් කර නැති බව පැහැදිලිව පෙනේ. ජනතාවට පණිවුඩයක් දෙන්නට උනන්දුවන පෝස්ටර්, කටවුට් සහ බිල්බෝඞ් නියමිත කාර්යයෙන් පසු ඉවත් නොකරන්නේ මන්ද යන්න ගැටලූවකි.

ජනතාවට යමක් සන්නිවේදනය කරන්නට සහ එයින් ජනමතයක් ගොඩනගන්නට උපයෝගී කරගන්නා මෙම අංග යල් පැනගිය ඒවා බවට පත්ව ඇති අන්දම පමණක් නොව ඒවා නිසි ආකාරයට මෙහෙයවන්නේ නැති හෙයින් අපකීර්තිමත් ප‍්‍රචාරයක් ගොඩනගන බව ද ස`දහන් කළ යුතුව ඇත. එය අනපේක්ෂිත දුර්මත සමාජය තුළ තහවුරු කරන්නට ද හේතු වී ඇත. විශේෂයෙන් මැතිවරණ ප‍්‍රචාරණය වෙනුවෙන් සකස් වූ කල් ඉකුත්ව ගිය කටවුට් සහ බිල්බෝඞ් තවමත් දැකගත හැකිය. ගස් ගල් වල පවා ලියන ලද පලාත් පාලන මැතිවරණ ප‍්‍රචාරක වැකි සහ මනාප අංක පවා අදටත් නොයෙක් තැන දැකිය හැකි සුලබ ඒවාය. රට ගොඩනගන්නට පරිසරය ආරක්ෂා කරන්නට සහ සන්නිවේදනය ඉතාම යහපත් කරන්නට අපේ්ක්ෂාවෙන් බලය ඉල්ලන දේශපාලනඥයන් ගේ සන්නිවේදනය ද එවැනි එකක් වී ඇති පසුබිමක ව්‍යාපාරික අරමුණු සහිතව මග දෙපස කටවුට් සහ ගස් ගල් පවා සන්නිවේදනයට භාවිතා කිරීම නතර කරන්නේ කෙසේ ද යන්න ගැටලූවක් වී තිබේ.

ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ අලූත් යුගයකටය. තොරතුරු තාක්ෂණය කරා ජන සමාජය ඉතාම ඉක්මනින් අනුගත වෙමින් සිටී. විශේෂයෙන් තරුණ පරපුර සම්ප‍්‍රදායික සන්නිවේදනයෙන් ආකර්ශනය කර ගත නොහැකි තරමට වෙනස්වෙමින් සිටියි. ඒ අනුව ඉදිරි වසර පහ හය ඇතුලත පරිසරය ගහ කොල ගැන සිතන අලූත් පරම්පරාව පවතින කටවුට් සහ බිල්බෝඞ් පුවරු වලින් කරන සන්නිවේදන කෘත්‍ය දෙස චෝදනා ස්වරූපයකින් බලනු නොඅනුමානය.

ප‍්‍රචාරණයේ සහ මත ගොඩනැගීමේ දී නොගැලපෙන පැති නිවැරදි කරගැනීමට සූදානමක් අප සියලූ දෙනාටම තිබිය යුතුය. නගරයක ප‍්‍රදර්ශනය කළ හැකි පුවරු ප‍්‍රමාණය හෝ ඒවා සම්බන්ධ වගකීමක් ඇති අය ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන ප‍්‍රතිපත්ති තීන්දු ගැනීමට කාලය උදා වී තිබේ. සන්නිවේදනයේ නූතන ආක‍්‍රමණය සහ එය කෙරෙහි අනවබෝධයෙන් සිදුවන ප‍්‍රචාරණය තුළින් ඇති කරන දුර්මත කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ද වැදගත්ය.