milinda-prashna

06/08/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මෙරට මහජන ආරක්ෂාව, සහ සදාචාරය ඇති කිරීම සම්බන්ධයෙන් පොලිස් සේවාව සතු සුවිශේෂී කාර්යභාරයක් තිබේ. එසේ තිබියදී පොලිසියේ පැවැත්ම ගැන බාහිර සහ අභ්‍යන්තර විවේචනයක් ඇත. පොලිස් සේවාවේ නිරත නිලධාරීන්ට තම කාර්ය භාරය සහ එහි සිදුවිය යුතු වෙනස්කම් අලලා කියන්නට දෙයක් ඇතිබව පෙනේ. නිලධාරීහු තමන්ට ලැබෙන පහසුකම්ගැන අතෘප්තිමත්ය. එය අභ්‍යන්තර විවේචනය වන අතර ජනතාවට ද පොලිසිය සහ එය මෙහෙයැවෙන ආකාරය ගැන ගැටලූ ගණනාවකි.

පොලිසිය පිහිටවුයේ යටත් විජිත යුගයේදීය. නිදහසින් පසු ගතවූ කාලය තුළ මෙරට පොලිස් සේවාවට මුහුණ දීමට සිදුවූ අභියෝග ගණනාවකි. ත්‍රස්තවාදය එහි ප්‍රධාන තැනක් ගනී. නීතිය සහ සාමය ආරක්ෂාකිරීමේ වගකීම හැරෙන්නට ත්‍රස්තවාදයට මුහුණදීමට ද සිදුවූ පොලිසියට බැටන් පොල්ල රැ‍ගෙන රාජකාරියටයාම වෙනුවට ටී පනස්හයේ තුවක්කුව අතට ගන්නට සිදුවිය. ත්‍රස්තවාදය පරාජය කරන්නට ත්‍රිවිධ හමුදාව ක්‍රියාකළ ආකාරයටම පොලිසිය ද කැපවීමෙන් සේවය කළබව සමාජයක් ලෙස පිළිගෙන තිබේ. නමුත් මහජනතාව අතරට ගොස් රාජකාරි කිරීමේ දී අසීමිත බලයක් ලැබීම සහ පොලිසියට ලැබුණ බලය පරිහරණය කරන ආකාරය ගැන සමාජයට බරපතල විවේචන ඇත.
දුෂණ, වංචා සහ දේශපාලන බලපෑම් වලින් තොර කාර්යක්ෂම තැනක් බවට පොලිස් සේවාව පත්කරන්නේ කෙසේද? මේ සම්බන්ධව පුලූල් සංවාදයක් ඇරඹිය යුතුය.

සමාජය පරිවර්තනය වන විට පොලිස් සේවාව ද, මහජන ගෞරවය දිනාගන්නා තත්ත්වයකට වෙනස්කිරීම අවශ්‍යය. එය කළ හැක්කේ කෙසේද?
සෝවියට් දේශයෙන් කැඞී වෙන්වූ ඇතැම් රටවල් පොලිසිය අලූතෙන්ම පටන් ගත්තේය. තවත් රටවල් පවතින අභියෝග ගැන සොයා සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් කර ඇත. බ්‍රිතාන්‍ය පොලිසිය සම්බන්ධයෙන් ද පසුගිය ජුලි මාසයේ දී එවැනි තීරණයක් ගත්තේය. පොලිස් පුහුණුව ලබාදෙන බ්‍රිතාන්‍ය ආයතනය ප්‍රතිපත්ති මට්ටමින් පොලිසිය ප්‍රතිසංශෝධනය කළයුතු ආකාරය ගැන දීර්ඝ සමාලෝචනයක් කළේය. මෙම පර්යේෂණය මූලික කරුණු දහයකින් සහ දීර්ඝ නිර්දේශ සහිතව ප්‍රකාශයට පත්ව ඇති අතර එය පිළිගෙන එයට අනුව සේවාව සංශෝධනය කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. නිලධාරීන්ගේ අවංක භාවය හා හැසිරීම ගැන එහි කරුණු දැක්වෙයි. අධිකාරීබලය, ගෞරවය සහ කෘතවේදීත්වය ගැන අනාවරණය කරයි. සියලූ දෙනාටම එකහාසමානව ක්‍රියා කිරීම සහ බලය පාවිච්චි කරන ආකාරය විග්‍රහකර ඇත. රාජකාරි සහ වගකීම් ගැන පූර්ණව අවධානය යොමුකර තිබේ. රහස්‍ය භාවය, රාජකාරි කරන්නට ඇති හැකියාව ගැන ද කරුණු දක්වන මෙහි විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලැබියයුතු පොලිසියෙන් ම වන අතර දේශපාලනඥයන්ගෙන් අණ නොලැබිය යුතු බව අවධාරණය කරයි.

මෙම අධ්‍යන වාර්තාව කියවන විට ශ්‍රී ලංකාවේ පොලිස් සේවාව යහපත් සහ කාර්ය ශූර තැනක් කරන්නට ගත හැකි පියවර මොනවාදැයි අවබෝධ කරගත හැකිය. පවතින චෝදනා සහ මහජනතාව අතර පවතින බරපතල විවේචන වලට කෙළින්ම මුහුණ දෙන්නට නම් මෙරට පොලිස් සේවාව ද සංශෝධනය විය යුතුව තිබේ. ඒ ස`දහා කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්නට විද්වතුන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කළ හැකිය. දේශපාලනයෙන් තොරව රට ගැන සිතා, නීතිය සදාචාරය සහ මහජන විනය ස්ථාපිත කරන්නට නම් වගකීම සහිත පොලිස් සේවාව නිවැරදි ස්ථාවරයක පිහිටුවිය යුතුය.
ත්‍රස්තවාදය පරාජයට පත්කර සාමකාමී ජන සමාජයක් ගොඩනගන වර්තමානය සංකීර්ණ අවදියකි. ගැටුම් සහිත තත්ත්වයන්ට මුහුණදීමට වඩා සාමකාමී පරිසරයක අභියෝග සියුම්ය. සමාජය වටහාගෙන අපරාධකරුවන් පරාජය කරන්නටත්, ජනතාවගේ සහ පොලිස් සේවාවේ ගරුත්වය ආරක්ෂාකර ගන්නටත් අවශ්‍යය. එහි එක පියවරක් වශයෙන් පොලිසිය ප්‍රතිංසවිධානය වියයුතු අකාරය ගැන ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවා සෘජු විවේචනයකට මුහුණදීම කාලෝචිතය.