milinda-prashna

30/07/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිංගේ දසවසරක කාර්ය භාරය විවිධ පැති වලින් සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. එරට පළමු අග්රාමාත්ය නේරුගෙන් පසුව වැඩිම කාලයක් අඛණ්ඩව අගමැති ධුරය හොබවා ඇත්තේ මන්මෝහන්ය. දක්ෂ ආර්ථික විශේෂඥයෙකු වන හෙතෙම දේශපාලනයට සහ පසුව අගමැති ධුරයට පැමිණීම සිදුවූයේ අහම්බෙන් බව විචාරකයන්ගේ අදහසයි. ආර්ථික වශයෙන් අර්බුද ගණනාවකට මුහුණදුන් නරසිංහ රාවෝ අගමැතිවරයාගේ ආණ්ඩුව අලූත් මාවතකට කැ`දවූයේ මන්මෝහන්ය. හෙතෙම ආර්ථිකය එවකට පැවැති මුහුණුවරින් වෙනස් කර විවෘත කරන ලද අතර එය ඉන්දියාවේ පරිවර්තනයක පදනම වශයෙන් සනිටුහන් වෙයි.
දස වසරකට පසු ධුරයෙන් ඉවත්ව යන අවස්ථාවේදී හිටපු අගමැති මන්මෝහන් සිං කියා සිටියේ තම ජීවිතය සහ රාජකාරි කටයුතු මහජනතාවට විවෘතව දැකබලාගත හැකි එකක් වූබවය. තමන් අගමැති වශයෙන් ඉටුකරන ලද කාර්ය භාරය සහ එහි සාර්ථකත්වය මහජන විනිශ්චයට ලක්වියයුතු බව කියාසිටි හෙතෙම මෙයින් දස වසරකට කලින් තිබූ ඉන්දියාවට වඩා ඉහළ තැනක් අද රට අත්පත් කරගෙන ඇති අතර එහි සාර්ථකත්වය රට වැසි සියලූ දෙනාම බවද හෙතෙම ස`දහන් කළේය.

දූරදර්ශී පාලකයෙකු වශයෙන් මන්මෝහන් ඉන්දියාවට ඉදිරිපත් කළ සත් සූත්රය අදටත් අවධානයට ගැනේ. ආර්ථිකය ප්රධාන කලාප හතකට වෙන්කරන ලද හෙතෙම එම අංශ ඉහළ අවධානයක තබා ගනිමින් දීර්ඝකාලීන ප්රතිපත්ති සම්පාදනය කරන්නට සමත්විය. කෘෂිකර්මය එහි පළමු තැන අත් පත් කරගත්තේය. දෙවැන්න ජලයයි. අධ්යාපනය සහ සෞඛ්ය තුන්වැනි සහ හතරවැනි කාරණාය. පහ රැකියා උත්පාදනයයි. හයවැනි කරුණ නගර යළි සැලසුම්කර නවීකරණය කිරීමයි. හත්වැනි කරුණ බලශක්ති, මාර්ග සහ තවත් වැදගත් අංශ ඇතුලත් යටිතල පහසුකම් සංවර්ධනයයි.

අගමැති ධුරයටපත් දෙවැනි වකවානුවේ දී ඉන්දියාව තිරසාර සංවර්ධනයකට යොමු කරනන්ට නම්, මෙම කාරණා හත සත් සූත්රයක් ලෙස දක්වා ක්රීයාවට නැගීමට මන්මෝහන් බලවත් උනන්දුවක් දැක්වීය. කෘෂිකර්මය පළමු තැනට ගැනීමත්. ජලය, අධ්යාපනය සහ සෞඛ්ය වැනි අංශ ඉතාමත් වැදගත් අංශ අතරෙහි පවත්වා ගැනීමත් කාලානුරූප ඉතාමත් කදිම තීන්දු බවට වර්තමානයේ ප්රකාශවෙමින් තිබේ. ආහාර නිපැයුම, ජල කළමනාකරණය, කාලගුණ විපර්යාස හෙයින් ලෝකවාසීන්ට ආහාර සහ ජලය සපයා ගැනීමේ දී මතුවන අර්බුද සත් සූත්රය ඉදිරිපත් කළ එම වකවානුවට වඩා අද බෙහෙවින් අවධානයට ගැනෙයි. අධ්යාපනය සහ සෞඛ්ය වැනිඅංශ ද, සෑහෙන පරිවර්තනයකට ලක්ව තාක්ෂණයෙන් සහ සමාජ ගෝලීයකරණයේ වාසිදායක තත්ත්ව වලින් පොහොසත්ව තිබේ.

රටක සාර්ථකත්වයට හේතුවන මෙවැනි කාරණා ජාත්යන්තර පසුබිම සලකා කලින් කල සමාලෝචනයට ලක්කළ යුතුය. මන්මෝහන් සිංගේ සත් සූත්රය අනුව ආර්ථික වර්ධනය සිදුවන්නේ ජනතා සහභාගීත්වය ඇතිවය. රැකියා වෙළ`ද පොළට ගැලපෙන අධ්යාපන ක්රමය සහ රැකියා සපයන්නේ ආණ්ඩුවම නොව පුද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිවය යන්න එහි ස`දහන්වූ කදිම පාඩමකි. මූලික අවශ්යතා වෙනුවෙන් ජාතික සැලසුම් යෝජනාවිය යුතුය. ආණ්ඩුව කළ යුතු රටට දර්ශනයක් ඉදිරිපත් කිරීමයි. රට වැසියන්ට අවස්ථා සම්පාදනයයි. ආණ්ඩුව පමණක් මෙහෙයැවීමට වඩා ප්රයෝගිකව සාර්ථකත්වයක් උදාකරගත හැකි වන්නේ සහභාගීත්වයෙන් ඉදිරියට ගමන් කිරීමෙන් පමණකි. අනාගතය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ඉලක්ක අනාවරණය සහ ඒ වෙනුවෙන් රට සූදානම් කිරීම වැදගත්ය.