milinda-prashna

2014/06/18 – ලංකාදීප

දන් දියයුතු තුන් සිත පහදවාගෙන බව බුද්ධ දේශනාවේ අංගුත්තර නිකායේ ස`දහන්ය. දානය දෙන්නට කලින්, දානය දෙන අතර සහ දන් දුන් පසු සිත තුළ තිබිය යුතු සංවරය ගැන එහි පළවෙයි. දානය දිය යුතු ලෝබ කමකින් තොරවය. තරහක් තිබිය යුත නැත. දානය-මෝහයක් මුලාවක් විය යුතු ද නොවේ. දන්දෙන පාර්ශවය ගැන පමණක් නොව දානය ලබන පාර්ශවය ගැන ද බුදු දහමෙහි දක්වයි. දන් ලබන්නාගේ සිල්වත්කම වැඩිවන තරමට දන්දෙන්නා රැස්කර ගන්නා පින වැඩිවෙයි. දුසිල් ඇත්තන්ට දන් දීම පළක් නැත.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූයේ දාන පාරමිතාව පදනම් කරගෙනය. තම අඹු දරුවන් පමණක් නොව ඇස් හිස් මස් ලේ පවා දන් දුන් බුදුරජාණන් වහන්සේ දාන පාරමිතා පුරමින් බුද්ධත්වයට පත්වීමේ අධිෂ්ඨානයෙහි සිටියහ. මෙරට බොදුනු සමාජයට දන් දීමෙහි කැමැත්ත ඇත. වෙසක්, පොසොන් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සල එය තහවුරු කරන තවත් සාධකයකි. නමුත් දානය දීම සහ දානය පිළි ගැනීම සම්බන්ධව පවතින බෞද්ධ සංකල්ප බරපතල ආකාරයට විකෘති කර ඇති බව වර්තමානයේ උත්සවාකාරයෙන් රට පුරා පවත්වන දන්සල කදිම සාක්ෂියක් සපයයි.
පසුගිය දිනවල පැවැති දන්සල් බොහොමයක් සංවිධානය කර තිබුණේ බලහත්කාරයෙන්ය. සංවිධායකයන් ආධාර සපයාගෙන ඇත්තේ තුන් සිත පහදවාගත් දාන චේතනාව ඇති ජනතාවගෙන් නොවේ. ඇතැම් තැනෙක දේශපාලනය මැදිහත්වූ අතර තවත් තැනෙක පැවැති දන්සලක දන්දුන්නේ ධාර්මිකව උපයා ගත් ධනයෙන් දැයි සැකසිතේ.දන්සල පැවැත්වූයේ දන් දියයුතු පිරිසක් වෙනුවෙන් ද නොවේ. තාවකාලිකව පවත්වන ශාලාවකට මහ මග යනෙන මගියන් සහ යාන වාහන නතර කර සිසිල්පැන්, අතුරුපස බෙදා දුන්නේ බලකරමින් මහත් විනෝදයකින්ය. දන්සලක් ඇතිබව දකිනවිට එය ම`ග හැරයාමට ඇතැමුන් තැත් දැරූ අතර පිරිසකට එය හිරිහැරයක් විය. තවත් පිරිසක් එතැනට පැමිණ ආහාර ගත්තේ හුදු විනෝදය තකාය. දන්සලකින් ආහාර ගත යුතුනැති වත්පොහොසත්කම් සහිත යාන වාහන වලින් පැමිණි පුද්ගලයන් ඒ අතර බහුලය. බත් දන්සල මහා මාර්ගයට මුහුණ ලා සකස් කළ බව බහුලව පෙණින. එහි පෝලිම සකස් කරන්නේ විවෘතව මහ මගට පෙනෙන ආකාරයටය. ආරාධිත අමුත්තා පැමිණ විවෘත කරන තෙක් දන්සලේ පෝලිමේ සිටින්නේ හැබෑවටම එහි ආහාර ගන්නට පැමිණි පුද්ගලයන්ය. ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානි වන ආකාරයට පෝලිමේ සිටුවා තිබිය දී දන්සලට ආධාර කළ භවතුන් මෙන්ම හිතවත්තු ද පෝලිමෙන් පිට පැන ආහාර පාර්සල් රැගෙන යනු දැකිය හැකි සුලබ දසුනක් විය. දන්සලක් බව දක්වා වාහන නතර කරන කොඩි වනා පාරට පැන තද බදය ඇති කරන සිදුවීම් අතර තුර දන්සල් බොහොමයක පිටුපස මත්පැන් භාවිතාවූබව නොරහසකි.
වෙසක් පොසොන් වැනි ආගමික උත්සව කාලයේ දී පැන නැගෙන දන්සල් දහමෙන් පෙන්වාදෙන දර්ශනය පමණක් නොව සමාජයීය ගෞරවය ද ඉක්මවා විකෘති තත්ත්ව කරායොමු වන බව පැහැදිලිව පෙනේ. ගමේ නගරයේ කණ්ඩායමක් එකතු වී ආධාර රැස්කරගෙන පවත්වන දන්සල එය පැවැත්වීමේ හැබෑ අරමුණ යටපත්කර තිබේ. හො`ද අදහසකින් පවත්වන නමුත් එය අවසන්වන්නේ ගැටුම් සහහිත් දුෂ්‍ය කරන සිදුවීම්සමග බව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පෙනීයා යුතු කරුණකි.
අනාදිමත් කාලයක සිට මහමග යනෙන ඕනෑම කෙනෙකුට පැන් පානය කළ හැකි තාලියක් තැබූ ලාංකිකයෝ කුසගින්නේ සිටින කිසිවෙකුට ආහාර සපයන්නට ද පැකිලූණේ නැත. වර්තමානයේ සියල්ල වෙනස්වී ඇත. වෙනස්වීම ධර්මතාවයකි. නමුත් එය සාධනීය ආකාරයකට සිදුවිය යුතුය. දන්සල පින්පුරන සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂාකරන ආකාරයට සංවිධානය කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම ඉතාමත් වැදගත්ය.

මිලින්දමොරගොඩ