milinda-prashna

11/06/2014 – ලංකාදිප

ඇමරිකාවේ රැකියා වෙළ`ද පොළට යාන්ත‍්‍රික මිනිසුන් ගෙන් සිදුවිය හැකි බලපෑම ගැන මේ වන විට විශේෂ අවධානයක් යොමු වී තිබේ. පර්යේෂකයන්ට අනුව රොබෝවරුන්ගේ ආදේශනය හමුවේ එරට පොදුවේ සියලූ අංශවල ශ‍්‍රමිකයන් ගෙන් සියයට 47 කට රැකියා අහිමි විය හැකියැයි ගණන්බලා තිබේ. ඇමරිකානු ආර්ථිකය දියුණු වන විට ක්ෂේත‍්‍ර ගණනාවක පරිවර්තන සිදුවිය. ශ‍්‍රම බලකාය සම්බන්ධයෙන් සිදුවූ වෙනස ඒ අතර ප‍්‍රධාන එකකි. මැක්සිකෝව ඇතුළු නොදියුණු රටවලින් පැමිණෙන ශ‍්‍රමිකයන් ඇමරිකාවේ රැකියා අවස්ථා ඩැහැගන්නා බව කලකට පෙර ඇමරිකානු වැසියන්ගේ ප‍්‍රධාන විරෝධයක් විය. දැන් එය යාන්ත‍්‍රික මිනිසුන්ගේ පැත්තට හැරෙමින් තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය.දැන් සිදුවන පරිවර්තනය අනුව ඉදිරියේදී ඇමරිකාවේ ශ‍්‍රමය අතිරික්තයක් වනු ඇති අතර තමන්ගේ රටේ නිපදවෙන යාන්ත‍්‍රික මෙවලම් තම රට වැසියන්ගේම රැකියා අවස්ථා අහිමි කරන තැනට පත්වීම සැලකිය යුතු තත්ත්වයකි.

තවත් අලූත් වාර්තාවකට අනුව ජපානය මිනිසුන්ගේ තනිකම හමුවේ කතා කරමින් සිටින්නට හැකි රොබෝ යන්ත‍්‍රයක් නිපදවා තිබේ. සිංගප්පූරුව වැනි රටවල් කම්හල්වල කරන කාර්ය භාරයෙන් අති විශාල කොටසක් යන්ත‍්‍ර වලට භාර දී ඇති අතර අවුරුද්දක් පාසා තව තවත් කාර්යක්ෂම ආකාරයට රොබෝ වරුන්ගෙන් කාර්ය ඉටු කර ගැනීමට හැකි ආකාරය ගැන අවධානය යොමු කරමින් සිටී.මිනිසුන් ගණනාවක් වෙහෙසවී සහ අනතුරුදායක ආකාරයට කරන වෘත්තීන්ට රොබෝ තාක්ෂණය යෙදවීම කාර්මික රටවල අද ප‍්‍රචලිතය. මේ වන විට ලෝකයේ රෝබෝවරුන් වැඩිපුරම මිලදී ගන්නා රට බවට පත්ව ඇත්තේ චීනයයි.
මෙම කරුණු අනුව ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම වෙළ`ද පොළ යාන්ත‍්‍රික මිනිසුන්ගේ ආක‍්‍රමණයට ලක්ව වැඩ කරන ජනතාවට රැකියා අහිමිවනු ඇති බව සිතන්නට කලින් දැනටමත් දියුණු රටවල් වල සිදු වන පෙරැළිය හෙයින් එරට සේවය කරමින් සිටින ලාංකිකයන්ට සිදුවිය හැකි දෙය ගැන අවධානය යොමු කිරීම වටී. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙරටින් පිටත්ව ලෝකයේ නොයෙක් රටවල සේවය කරන ලාංකිකයන්ට ලෝකයේ නොයෙක් කම්හල් රොබෝ කරණයට ලක් වන විට මතුවන පීඩනයෙන් අත්මිදෙන්නට හැකියාවක් නැත.

බරපතලම ප‍්‍රශ්නය එය නොවේ. ශ‍්‍රම යාන්ත‍්‍රික මෙවලම් වලට භාරවන විට ඉදිරියේ දී ලෝකයේ රැකියා අවස්ථා බහුලවන්නේ චින්තනයක් ඇති, නිර්මාණශීලීව ක‍්‍රියා කරන්නට හැකි විද්වත් ශ‍්‍රම කණ්ඩායමකට පමණකි. රොබෝ වරුන්ට අලූත් දෙයක් නිර්මාණාත්මකව කළ නොහැකි යැයි තීරණය කරනතාක් මිනිස් ශ‍්‍රමයේ ඉහළ ස්ථර වලට පැවැත්ම තිබිය හැකිය. තවත් දශක දෙකක් පමණ ගත වන විට ඇති විය හැකි මෙම පරිවර්තනයට ගැලපෙන නිර්මාණශීලී චින්තකයන් බිහි කිරීමට මෙරට අධ්‍යාපන ක‍්‍රමය සූදානම්ද? ප‍්‍රශ්නය එයයි.
අධ්‍යාපනයෙන් දැනුම නැංවිය යුතුය. දැනුම පදනම් කර ගත් සමාජයක් බිහි කළ යුතුය. ලෝකයේ අද පවතින ශ‍්‍රම වෙළ`දපොළට අවශ්‍යතාව විනා දහඩිය හෙළන ශ‍්‍රමයට රට තුළ පමණක් නොව රටින් බැහැර ද ඇති අවස්ථා බරපතල ලෙස සීමාවන්නට ඉඩ තිබේ. ගුවන් ප‍්‍රවේශපත් නිකුත් කිරීමේ සිට බැංකුවෙන් මුදල් ලබා ගැනීම දක්වා යාන්ත‍්‍රීකරණය වන ස්වභාවය තුළ අපට ද මෙයින් අත්මිදෙන්නට හැකියාවක් නැත.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන ලෙස ඉල්ලා බල කරන සහ අධ්‍යාපනයේ පවතින පැති සම්බන්ධයෙන් පාරට බැස විරෝධතා පවත්වන දරුවන් මෙම පරිවර්තනය ගැන අලූතින් සිතන්නට අවශ්‍යය. මෙරට පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් හිතන්නට බැරි සහ අලූත් යමක් නිර්මාණය කරන්නට නොහැකි කණ්ඩායමක් බිහි කරන බව දකින විට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අදඇති ඉගෙන ගැනීමේ රටාව වෙනස් විය යුතු බව වැටහෙන්නට අවශ්‍යය. මෙම පැති දෙක ගැනම වැඩි අවධානයකින් තොරව පවතින අධ්‍යාපනයෙන් බිහි කරන ශ‍්‍රම බලකායට තවත් දශක දෙකකින් අත් පත් වියහැකි ඉරණම ගැන පුලූල් සාකච්ඡාවක් විනා අන්කිසිවක් අද එතරම් වැදගත් නැත.