milinda-prashna

28/05/2014 – ලංකාදීප

ශ‍්‍රී ලංකාව නිතර මැතිවරණ පවත්වන රටකි. මහජන මතය විමසා බැලීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලවත් ශක්තියකි. මැතිවරණයේ දී ඡුන්දය දෙන පාක්ෂිකයන් පමණක් නොව මැතිවරණයේ දී ආධාර කරුවන් වශයෙන් මහන්සි වන සියලූ දෙනා අපේක්ෂා කරන්නේ තමන්ගේ ඡන්දයෙන් බලයටපත් නායකයාගේ ප‍්‍රභූ භාවයයි. ආණ්ඩු බලය ඇත්නම් ඇමැති ධුරයකි. අඩුම වශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයෙකු වීම වරප‍්‍රසාදයකි. කැබිනට් මණ්ඩලයේ තනතුරක් අහිමිවීම දේශපාලන පරාජයක් වශයෙන් සලකන හුරුවක් තිබේ. තමන්ගේ මන්ත‍්‍රීවරයා ආණ්ඩුවේ ඉහළ තනතුරකට පත්කර ගතහැකි වුවහොත් එහි බලතල සහ වරප‍්‍රසාද මත ආධාරකරුවන් විශාල වාසි අපේක්ෂා කරයි. තම දරුවා ජනප‍්‍රිය පාසලකට ඇතුලත් කර ගැනීමේ සිට ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් ගැනීම දක්වා එය විහිදයන පරාසය ඉතාමත් පුලූල්ය.අතිශය සංකීර්ණය.
ඉන්දියානු මහමැතිවරණය නොබෝදා අවසන් විය. භාරතීය ජනතා පක්ෂය ඉතිහාස ගත ජයක් වාර්තා කළේය. කොන්ග‍්‍රස් පක්ෂය පරාජයට පත්වූයේ සියයට 19 ක ප‍්‍රතිශතයකට සීමා කරමින්ය. කැපවීමෙන් ඉලක්කයකට අනුව ගමනක් පැමිණි නරේන්ද්‍ර මෝඩි මහතා විශාල ජන ප‍්‍රසාදයකට හිමිකම් කියයි. නව අගමැතිවරයා සිය කැබිනට් මණ්ඩලය ප‍්‍රකාශයට පත්කර ඇත. ඉන්දියාවේ කැබිනට් මණ්ඩලය එරටට පමණක් නොව ජාත්‍යන්තර සමාජයට ද මාතෘකාවක් ඇති කර තිබේ. ඉන්දියාවේ නව ඇමැති මණ්ඩලය 23 දෙනෙකි. නියෝජ්‍ යඇමැතිවරුද සමග එය 43 ට නොවැඩිය. නුදුරු කාලයේ තවත් සාමාජිකයන් එකතු වියහැකිය. නමුත් බිලියන 1.2 කට වැඩි ජනගහනයක් සහිත ඉන්දියාවේ පාලනය කරන්නට විසිතුන් දෙනකුට සීමාකිරීම අවධානයට ගත යුතු විශේෂකරුණකි. මෙම ඇමැති මණ්ඩලය ද පොකුරු නොඑසේ නම් සාමූහික ආකාරයකට ක‍්‍රියා කරන බව ප‍්‍රකාශ වී තිබේ. වසර 2025 වන විට ඉන්දියාවේ ජන ගහනය බිලියන 1.6 ක් වනු ඇති අතර වසර 2050 වන විට එය මුලූ ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය බවට පත්වනු ඇත.විසි තුන්දෙනෙකුට ඉන්දියාවේ අනාගතය සම්බන්ධ සුවිශේෂී අභියෝග වලට මුහුණ දිය හැකිද?
ඉන්දියාවේ නව අගමැතිවරයා ආණ්ඩුවේ යාන්ත‍්‍රණය කුඩා සහ කාර්යක්ෂම එකක් විය යුතුය යන ආකල්පයට පැමිණීම දියුණු රටවල ප‍්‍රතිපත්ති වලට සමගාමී වීමකි. Minimum Government – Maximum Governess යන කුඩා ආණ්ඩුවකින් උපරිම යහපාලනයක් යන සංකල්පය ද එතුමා ඉදිරිපත් කරයි. ආණ්ඩුවක වගකීම ප‍්‍රතිපත්ති සකස් කිරීම සහ ඒවා ක‍්‍රියාත්මක කිරීම වන අතර පුද්ගලික අංශය ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති රාමුව අනුව කර්මාන්ත ව්‍යාපාර මෙහෙය විය යුතුය. එයින් රැකී රක්ෂා ඇතිකර රට සංවර්ධනය කළ යුතු බව නව අගමැතිවරයාගේ අදහසයි. කුඩා පිරිසක් ඉහළ තලයේ හා වැඩි පිරිසක් වැඩ කළයුතු බව මෝඩි අගමැතිවරයා නිතර ස`දහන් කරන ප‍්‍රකාශයකි. හිටපු අගමැති මන්මෝහන්සිං මහතා ඉන්දියාවේ ආර්ථිකය විවෘත කර සංවර්ධනයට පදනමක් සකස් කළබව පිලිගැනීමයි. අගමැති නරේන්ද්‍ර මෝඩිඑයට තවත් පියවරක් ඉදිරියට තබන සැලසුමක බව මෙයින්පැහැදිලිවෙයි.
ආණ්ඩුවක් බලයට පත්වන්නේ පාක්ෂිකයන්ට සහ අනුගාමිකයන්ට තනතුරු ඇතිකර ඔවුන්ට රිසි දේ කරගන්නට පමණක් නොවේ. පොදු ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු ඉටුකර සියලූ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් වෙනසක් ඇති කළ යුතුය. එයට පදනම සකස් වන්නේ දේශපාලනඥයන් ගේ දැක්ම අනුව පමණක් නොව දේශපාලනඥයන්ට පරමාධි පත්‍ය බලය පවරන ඡන්ද දායකයන්ගේ හැසිරීම ද අනුවය. ඡන්දය දී ආණ්ඩුවක් බලයට පත් කර තමන්ගේ උවමනා එපා කම් ඉටු කරගන්නට හිතා බලමින් සිටින පොදු ජනතාව වෙනුවෙන් ඉන්දියාව පූර්වාදර්ශයක් සපයයි. පාර්ලිමේන්තුවට හෝ පලාත් සභාවක මහජන නියෝජිතයෙකු වීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ඇමැති ධුරයක් ගැන හිතන අයට ද ඉන්දියාවේ නව කැබිනට් මණ්ඩලය හිතා බැලිය යුතු අවස්ථාවකි. තනතුරු ගැන පමණක් කල්පනා කරමින් හෝ ධුරයේ බලතල ප‍්‍රමාණවත් නැත්නම් ආණ්ඩු අපහසුතාවයට පත් කරන්නට සූදානම් බව පෙන්වන මහජන නියෝජිතයන්ට ද ඉන්දියාවේ අලූත් කැබිනට් මණ්ඩලය සහ එය බෙදා විහිදී ගිය කදිම ආකාරය ආදර්ශයක්ය.

මිලින්ද මොරගොඩ