milinda-prashna

21/05/2014 – ලංකාදීප
ඉන්දියානු පුරවැසියන් තම පාලනය සදහා අලූත් නායකත්වයක් තෝරා පත් කරගත්තේය. ඉන්දියාව විශාල ජනගහනයක් ඇති රටකි. ඉදිරි දශකය ඇතුලත එය ලෝකයේ වැඩිම ජනගහනය ඇති රට බවට පත්වනු ඇත. ඉතා දිළිදු රටක් වශයෙන් පැවැති ඉන්දියාව වේගයෙන් ඉදිරියට ගමන් කරන්නට පටන්ගෙන තිබේ. එහි ආර්ථික සංවර්ධනය ජාත්‍යන්තර අවධානයට ලක් වූ එකකි. විශාල වෙළද පොළ සහ නිෂ්පාදන හැකියාව මත ලෝකයේ ප‍්‍රමුඛ කර්මාන්ත සහ ව්‍යාපාර එහි ආයෝජනය කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට අනුව මහජන කැමැත්තෙන් නියෝජිතයන් තෝරාගන්නා ඉන්දියාවේ මහ මැතිවරණය මෙවර වැඩි අවධානයකට ලක්විය.
සමස්ථයක් වශයෙන් එහි ක‍්‍රියාදාමය සාමකාමී එකකි. මැතිවරණය මෙහෙයවූ ස්වාධීන ආකාරය සුවිශේෂීය. බලයේ සිටි කොන්ග‍්‍රස් පක්ෂයට පමණක් නොව බලය ලබාගත් භාරතීය ජනතා පක්ෂය ද මැතිවරණ නීතියය හමුවේ එක හා සමාන විය. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වන විට සාමකාමීව එය පිළිගන්නට සියලූ දේශපාලන පක්ෂ වලට ආත්ම ශක්තියක් තිබිණ. ඉතිහාසයේ දරුණුම පරාජය අත් පත් කරගත් කොන්ග‍්‍රස් පක්ෂය නියමිත පරිදි අවසන් කැබිනට් රැස්වීමට ද පැවැත්වීය. ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්වූ පසු ආණ්ඩුවේ සිටි කොන්ග‍්‍රසය් අගමැති මන් මෝහන් සිං මහතා ඉන්දියානු ජනතාව අමතා කතා කළේය. ඉන්පසු ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේය. හිටපු අගමැතිවරයා කියා සිටියේ ඉන්දියාවේ විවිධත්වය හරහා සමගිය ඇති වූ බවය. තම ආණ්ඩුව ආර්ථික සංවර්ධනයට පදනමක් සකස් කළ අතර එය ඉදිරියට ගෙන යාම අලූත් පාලනයේ වගකීම බව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ අනාගතය සම්බන්ධව තමන්ට විශ්වාසයක් ඇතැයි ප‍්‍රකාශ කළ ඉවත්ව යන අගමැතිවරයා අප සියලූ දෙනාම ජනතාව දුන් තීරණය එක හෙලා පිළිගන්නා බව ප‍්‍රකාශ කළේය.
අපේක්ෂා නොකළ තරමේ ජන වරමක් ලැබී නව අගමැති නරේන්ද්‍ර මෝඩි සහ ආධාරකරුවෝ මැතිවරණයෙන් ලැබූ ජයෙන් උද්දාමයට පත් වූයේ නැත. නිදහසින් පසු අඩුම ආසන ගණනක් ලබමින් බලය අහිමි වූ කොන්ග‍්‍රසය, සම්පූර්ණයෙන් පරිගනක ගත කළ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය දෝෂ දර්ශනයට ලක්කරන්නට අවස්ථාවක් කරගත්තේ නැත.
බලය සාදාකාලික නැත. ජනතාවගේ තීන්දුව අනුව ක‍්‍රියා කළ යුතුය. පරමාධිපත්‍ය යනු මහජන ශක්තියයි. යුක්ති සහගතව ජනතා විනිශ්චයට මුහුණදීම ඉතාමත්ම වැදගත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලපවත්වන්නේ මහජන නියෝජනය අනුවය. ජනතා නායකයන්ට මහජන කැමැත්ත ලබාගැනීම පහසු නැත. තම ඉලක්ක සහ පරමාර්ථ ජනතාව හමුවේ තැබිය යුතු අතර ඒවා මහජනතාව අපේක්ෂා කරන පරම අවශ්‍යතා බව ජනතාවට ඒත්තූ යා යුතුය. එය කළ හැක්කේ ජනතාව අතර වැඩ සටහන් සහ ප‍්‍රතිපත්ති සංවාදයට ලක් කිරීමෙන් පමණකි. තම ජීවිත වල පැහැදිලි වෙනස්කමක් ඇතිකර, අරමුණු සාක්ෂාත් කරගන්නට පක්ෂ නායකයන් ගේ ප‍්‍රතිපත්ති සමත්වන විශ්වාසයක් ඇති විට ජනතාව පක්ෂ වටා ඒක රාශී වෙයි.
නූතන ගෝලීයකරණ සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ ප‍්‍රසාරණය වෙමින් තිබේ. තාක්ෂණය සහ දැනුම පොදු ජනතාව ගන්නා තීරණ වලට විවිධ ආකාරයේ බලපෑම් කරන බව පෙනේ. මෙවර ඉන්දීය මහ මැතිවරණයේ දී වෙනස ඇතිකරන තීන්දුවට සාමාන්‍ය මධ්‍යම පැලැන්තිය වෙනුවට සමාජයේ පහළ මධ්‍යම පැලැන්තිය කරන ලද බලපෑම ඉතා සියුම් බව දේශපාලන විචාරකයන් දක්වයි. ආර්ථික වර්ධනය අඩුවන විට එහි බලපෑම මත කොන්ග‍්‍රසයේ පිරිහීම ඉක්මන් විය. එය මෙතෙක් ලෝකයේ තැනින් තැන අවධානයට ලක්වූ අරාබි වසන්තය සේ ගැනෙන මැද පන්තියේ පිබිදීමට වඩා බරපතල වෙනස් එකකි. බලය පැවරීම පමණක් නොව බලය ලබා ගැනීමට අනුගමනය කළ යුතු මග අවබෝධ කර ගත යුත්තේ ජන විඥානය අනුවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාව පවරන බලය ලබා ගැනීම සහ එය නිසි පරිදි ආපසු භාරදීම පැහැදිලි නිරවුල් එකක් නම් එය රටක අභිමානයට හේතුවෙයි.

මිලින්ද මොරගොඩ
http://www.milindaprashna.wordpress.com