milinda-prashna

2013.12.18- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ලෝකය ඉතා ඉක්මනින් පරිවර්තනය වන බව දැනෙන්නට පටන්ගෙන තිබේ. තාක්ෂණය භාවිතාවට පැමිණීම එයට හේතුවක් බව පැහැදිලිය. කෘෂි යුගයෙන් කාර්මික යුගයට පැමිණෙන්නටත්, එතැනින් කර්මාන්ත සහ සේවා යුග වලට අවතීර්ණ වන්නටත් ලෝකය ගත කළ කාලය සෑහෙන එකකි. නමුත් තාක්ෂණික යුගය සමග ලෝකයේ මුහුණුවර වෙනස්වන්නට ගතවන කාලය ඉතාමත් කෙටි එකක් බවට පත්ව තිබේ.
දුරකථනය සොයා ගෙන එය රැහැන් රහිත එකක් බවට පත්වන්නටත්, අන්තර් ජාලය භාවිතාවට පැමිණීම සහ තොරතුරු තාක්ෂණය ජන ජීවිතයට බද්ධවීමත් ගත කරමින් සිටින සියවසේ විශාල වෙනස්කම් ජනිත කර තිබේ. එයට අලූතින්ම එකතුවී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනයයි. තමන්ට අහස පාලනය කළ හැකි නම් අවුරුදු පහක් ඇතුලත පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහන අංශයෙහි පෙරැළියක් කළ හැකි බව මෙම සේවාවෙහි නිරත ආයතනයක් ප්‍රකාශ කර තිබේ.
එය කරන්නේ කෙසේද? ප්‍රකාශ වී ඇති ආකාරය අනුව පාරිභෝගිකයෙකුට තමන් මිලදී ගන්නට කැමැති භාණ්ඩයක් ඇනවුම් කළ හැකිය. එයට සාප්පු සවාරියක් යන්නට අවශය නැත. අන්තර් ජාලයෙන් සොයා බලා තත්ත්වයෙන් උසස් මිල අඩු දේ තෝරා ගැනීමට හැකියාව ලැබෙන අතර අන්තර්ජාල ගෙවීම් මගින් බිල්පත පියැවීමට ද හැකිය. තමන් තෝරා ගත් භාණ්ඩය අධික රථවාහන තද බදය මැද කලට වේලාවට ලැබේදැයි සැක ඇති කර ගත යුතු නැත. නියමුවන් රහිත කුඩා ගුවන් යානා තාක්ෂණික උපදෙස් භාවිතා කරමින් ඇනවුම් කරන ලද භාණ්ඩය ඉක්මනින් ගුවනින් ගෙන ගොස් පාරිභෝගිකයා අතටම පත් කරන්නට දැන් සූදානමක් තිබේ. ඇමේසන් නමැති සමාගම සහ එයට එකතු වූ ඉ-කොමස් නමැති වෙළ`දාම් ක‍්‍රමය පාරිභෝගිකයා වෙත භාණ්ඩ යවන්නට නියමුවන් රහිත යාන්ති‍්‍රක මෙවලම් භාවිතාවට ගෙන තිබේ. අහසේ සැරි සරන ගුවන් යානා, අහස උසට තැනෙන ගොඩනැගිලි සහ නියමුවන් රහිත යානා යන සියල්ල කළමනාකරණය කළ හැකි තාක්ෂණික පද්ධතියක් සකස් කරන්නට හැකියාව ඇත්නම් ඉදිරි අවුරුදු පහ ඇතුලත කාර්ය බහුල තැනක් කළ හැකි බවට මෙම සමාගම දැනටමත් පුරෝකථනය කරයි.
මෙතැන දක්වා පැමිණ ඇත්තේ පණිවුඩ හුවමාරු කිරීමේ වයාපාරය බව අමතක කළ යුතු නැත. අලූත් අදහසක් කි‍්‍රයාත්මක කළ ඇමරිකාවේ පුද්ගලයෙකු අශ්වයන් කුලියට ගනිමින් තැනින් තැනට ඉක්මනින් පණිවුඩ ගෙන යන්නට සමත්විය. එය වේගවත් පණිවුඩ හුවමාරුවක ආරම්භයයි. පසුව පෙඩරල් එක්ස්ප‍්‍රස් වූ මෙම ආයතනය අනුව යමින් රෝයල් තැපැල්, යු,පී,එස්, ඞී.එච්,එල් ඇතුලූ නොයෙකුත් වේගවත් භාණ්ඩ හුවමාරු සමාගම් බිහිවන්නට පදනම සැකසීය. එහි ඉදිරි පියවර වූයේ මුදල් තැනින් තැනට යැවීමයි. පණිවුඩයකින් ආරම්භ වී පසුව වේගයෙන් මුදල් යවන්නට හැකි ආකාරය දක්වා පරිවර්තනය විය. දුරකථනය සමග පණිවුඩ හුවමාරුව වේගවත් වන විට එයින් මුදල් යවන්නට එවන්නට නොහැකි බව වටහා ගත් සමාගම් තමන්ගේ මුල් අදහස් වෙනස්කර වෙස්ටන් යුනියන් වැනි ලෝක ප‍්‍රකට ආයතන බිහි කළේය. පණිවුඩය සහ මුදල් හුවමාරුව වේගවත්ව කරන්නට ආයතන අවශය නැති තැනට ජාතයන්තරය පත්ව තිබේ. ජංගම දුරකථනය සහ බැංකු ජාල ගතවීම සමග වෙනස් වූ පරිසරය ජය ගන්නට සූදානම් වන්නේ භාන්ඩ ප‍්‍රවාහනයෙහි අලූත් පැති අනාවරණය කර ගනිමින් බව අවබෝධ කර ගත යුතුය. මුල් යුගයේ අරමුණ වූ ලියුම් බෙදා හැරීම පමණක් තමන්ගේ වයාපාරය සේ සලකා කි‍්‍රයා කළේ නම් මෙවැනි වෙනසක් අද ඇතිවන්නේ නැත. ලියුමක් හෝ පණිවුඩයක් යැවීම වෙනුවෙන් ආයතන නඩත්තු කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බව අද ලෝක ප‍්‍රජාව විශ්වාස කරන්නේ නැත.
අන්තර් ජාලයෙන් ලෝකයේ නොදන්නා නිෂ්පාදකයෙකුගෙන් ඇනවුම් කළ භාණ්ඩයක් තමන්ගේ නිවස ඉදිරිපිටට පැමිණෙන යාන්ති‍්‍රක මෙවලමකි‍ එය පරෙස්සමෙන් අතහැර යන මොහොත උදාවන තෙක් අහස දෙස බලා සිටින සමයක් ඉදිරි දශකය ඇතුලත අපට ද උදාවිය හැකිය. මෙම පරිවර්තනය අද සිදුවෙමින් පවතී.