milinda-prashna

2013.12.04 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ලබන වසර ස`දහා රජය ඉදිරිපත් කළ අය වැය යෝජනා වල කාන්තාවන්ට වයස අවුරුදු 68 දක්වා පොලී රහිතව ණයක් ලබා ගැනීමේ අවස්ථාවක් යෝජනා කර තිබේ. වැදගත් හා බැරැරුම් තීරණ ගත යුතු සංධිස්ථානයකට ශ්‍රී ලංකාව පැමිණ ඇත. අය වැය යෝජනාව අනුව වරප්‍රසාදය හිමිවිය හැකි පිරිස සීමිත විය හැකිය. නමුත් කාන්තාවන්ට නිසි තැන ලබාදීමට යම් පියවරක් ගැනීම රටට වැදගත් සංකේතයකි. විවාහයට පෙර බාල සහෝදරයන්ට, විවාහයෙන් පසු සැමියාට හා සැමියාගේ වියෝවෙන් පසු තම පිරිමි දරුවන්ට ද අවනතව සිටින්නට සම්ප්‍රදායික කාන්තාවට සිදුව තිබේ. වර්තමාන සමාජයේ වුව ද යටි තලයෙන් පෙනෙන්නට ඇති සත්‍ය එයයි. මෙම අසමානතාව දුරු කිරීමට අදහස් හා සංවාද විවිධ අන්දමට මතුවූ නමුත් එය ප්‍රායෝගිකව අවසන්ව නැත. කාන්තාව ආර්ථික අතින් ශක්තිමත් කර ව්‍යවසායකයන් බවට පත්කරන මග සකස් කිරීම එයට හො`ද විකල්පයක් වනු ඇත.
ඉන්දියාව එරට කාන්තාවන් වෙනුවෙන් වෙනම වානිජ බැංකුවක් පිහිටුවන තීරණය ගෙන ඇත. කැමැත්තට සහ අවශ්‍යතාවයට ඉඩ සැලසෙන අයුරින් තීරණ ගැනීමට කාන්තා බැංකු පද්ධතියකින් අවකාශ සැලසෙනු ඇත. විශාල ජනගහනයක් සහිත ඉන්දියාව පුරුෂාධිපත්‍යට නතුව සිටි රටක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එවැනි රටක කාන්තාවන් වෙනුවෙන් බැංකුවක් පිහිටුවීම පෙරුළිකාර තීන්දුවකි. නමුත් ශ්‍රී ලාංකේය සමාජය පොදුවේ ක්‍රියාකරන අතරවාරයේ සුවිශේෂී අවස්ථාවලදී කාන්තාවන්ට නිසි තැන ලැබෙන ආකාරයට ප්‍රතිපත්ති තීරණය කිරීම වැදගත්ය.
1938 අවුරුද්දේ දී දෑවැද්ද ඉල්ලීම තහනම් කළ යුතු බවට ඒ. පී. ද සොයිසා මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවේය. එතුමන්ට නොයෙක් දෙනාගේ විවිධ විචේචන වලට මුහුණ පාන්නට සිදුවිය. පනත විවාද කර එය සම්මත කර ගැනීමට ඡන්දය විමසන අවස්ථාවේ පක්ෂවත් විපක්ෂවත් ලැබුණේ එකම ඡන්ද ගණනකි. කථානායකවරයා සිය තීරක ඡන්දය පණතට විරුද්ධව ප්‍රකාශ කළේය. එහෙයින් එය පරාජයට පත් වූ අතර එදා සිට මේ දක්වා කිසිදු පාර්ලිමේන්තු සැසිවාරයක දී දෑවැද්ද තහනම් කිරීමේ යෝජනාව කතා කර නැත. නමුත් අද කාන්තාවන් අපහාසයට පත්වන අනෙක් වෘත්තීන් නීතිගත කරන ලෙස සමාජයට යෝජනා කරමින් සිටී. එවැනි අවස්ථාවක අයවැය මගින් සුළු වශයෙන් හෝ කාන්තාවන් ව්‍යවසායකයන් බවට පත් කරන යෝජනා ඇතුලත් කිරීම සැලකිල්ලට භාජනය කිරීම වටී.
ආර්ථිකයේ වැඩි දායකත්වයක් උසුලන, නීතිය, අධ්‍යාපනය අතින් ඉදිරියෙන් සිටින හා ජනගහනය වශයෙන් ද සුලූ වැඩිවීමක් පෙන්වන කාන්තාව සකසුරුවම සහ පවුලේ අනාගතය සම්බන්ධව ගැඹුරෙන් සිතන පිරිසකි. අද මෙරටින් පිටත්ව මැද පෙරදිග ඇතුළු රටවලට යන පිරිස අතර ද කාන්තාව බහුලය. කටුක ජීවිතගත කරමින් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස පිටරට වැඩකරන කාන්තාවන් රටට ශෝක ජනක සිද්ධි ඇති කළ අවස්ථා අමතක කළ යුතු නැත. රටට වැඩිම විදේශ විනිමය උපයනනමුත් ලාංකික කාන්තාවන් රට තුළම ජීවත් වෙමින් ඔවුන්ට ගරුත්වයක් විය හැකි ව්යනවසායකත්වයට නැඹුරු කිරීම වැදගත්ය. දැනටත් සුළුවෙන් ආරම්භ කළ ව්‍යවසාය ඉතාම ඉහළට ගෙනවිත් ව්‍යාපාරික අංශයේ පෙරමුණ ගෙන ඇති කාන්තාවන් එයට ආදර්ශයකි. එය පහසු ගමනක් නොවන බව එකී කාන්තා ව්‍යවසායකයන් දක්වන බව නිසැකය. සමාජයේ සියලූම පොදු කටයුතු වලදී ඉදිරියෙන් සිටින්නේ කාන්තාවයි. ගම් මට්ටමේ ප්‍රජා සංවිධාන වල කාන්තා නියෝජනය වැඩිය. ඕනෑම සමිතියක, ඕනෑම ආගමික කටයුත්තක ඉදිරියෙන් ඇත්තේ කාන්තා නියෝජනය වැඩි වශයෙන් පෙනේ. එම ශක්තිය රටට සහ සමාජයට වැඩදායක ලෙස උපයෝගී කරගැනීමේ වගකීමක් අප සතුව ඇත. එවැනි වෙනසක් ඇති කළ හැකි නම් කාන්තාවන් ව්‍යවසායකත්වය අතින් දියුණු වන විට අන් අසමානතා දුරුවීමට පදනමක් ඇතිවනු ඇත.